දෙව් මිනිසුන් සහිත ලෝකයා ගේ අසහාය ශාස්තෘවරයා වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ අවසන් සමය ලගා විය. අසූ වැනි වියට එළැඹි බුදුරදුන් බේළුව නම් වූ ගමෙහි වස් සමාදන් වූ සේක. එහි දී උන් වහන්සේට 'ලෝහිතපක්ඛන්දිකා' නම් වූ දරුණු රෝගය හට ගත්තේය. සමාපත්ති බලයෙන් තාවකාලිකව රෝගය යටපත් කර ගත් උන් වහන්සේ වස් පවාරණය කොට සැවත් නුවර දෙවුරම් විහාරයට වැඩම කල සේක. වැඩම කොට භික්ෂු සංඝයා රැස් කරවා තව නොබෝ දිනකින් තමන් වහන්සේ ගේ පරිනිර්වාණය සිදුවන බව දන්වා විශාලා මහ නුවරට වැඩම කර චාපාල නම් වූ චෛත්‍යස්ථානයේ දී ආයු සංස්කාර අතහැර භික්ෂු සංඝයාට දහම් දෙසා මෙයින් තුන් මසක් ගිය පසුව් තමන් වහන්සේ ගේ පරිනිර්වාණය සිදු වන බව දැනුම් දුන් සේක.
පසුව බුදුරදුන් විශාලා මහ නුවරින් නික්ම පිලිවෙළින් භණ්ඩ ග්‍රාම, හස්ති ග්‍රාම, අම්බ ග්‍රාම, ජම්බු ග්‍රාම, භෝග ග්‍රාම යන ගම් වලට වඩම කර ජනයාට දහම් දෙසා පාවා නුවරට වැඩම කල සේක. එහිදී චුන්ද කර්මාර පුත්‍රයා ගේ දානය වැළදූ උන් වහන්සේ දැඩි සේ රෝගතුර වූහ. මාස කිහිපයක් යටපත් වී තිබූ ලෝහිතපක්ඛන්දිකා රෝගය යලි මතු විය.
තමන් වහන්සේ ගේ පරිනිර්වාණය ඉතා ආසන්න වී ඇති බව දැන ගත් බුදුරදුන් භික්ෂු සංඝයා ද සමගින් කුසිනාරා නුවර මල්ල රජ දරුවන් ගේ උපවත්තන සල් වනය බලා වැඩම කලහ. සල්වනයට වැඩි බුදුරදුන් අනද තෙරුන් ලවා සල් ගස් දෙකක් අතර උතුරට හිස දමා ඇදක් පිළියෙල කරවා ගෙන යලිත් නොනැගිටින අදහසින් යුතුව සිංහ සෙයියාවෙන් සැතපුන සේක. නොයෙක් සක්වළින් අප්‍රමාණ දේවතාවෝ අවසන් වතාවට ත් බුදුරදුන් දැක බලා ගෙන වන්දනා කිරීමට දිවමල්, දිවගද ගෙන උපවත්තන සල්වනයට පැමිණියහ. දේවතාවෝ දිවමලින්, දිවගදින් බුදුරදුන් පිදූහ.
භාග්‍යවතුන් වහන්සේ එදින රාත්‍රියේ පෙරයම මල්ල රජදරුවන් ප්‍රධාන රැස්ව සිටි මහ පිරිසට දහම් දෙසා රාත්‍රියේ මැදියම සුභද්‍ර නම් වූ පරිබ්‍රාජකයා දමනය කොට ''හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි. වො වයධම්මා සංඛාරා. අප්පමාදෙන සම්පාදෙථ.'' ''මහණෙනි, දැන් මම ඔබ සැම අමතමි. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. එබැවින් අප්‍රමාදීව කටයුතු කරන්නැ'' යි වදාළ සේක. මේ බුදුරදුන් ගේ අවසාන අවවාදය යි.
ඉක්බිති භාග්‍යවත් බුදුරදුන් පිළිවළින් ධ්‍යානයන්ට සමවැදී ඉන් නැගී සිට අලුයම් කාලයේ දී සියලු සංස්කාර ධර්මයන්හි අනිත්‍ය භාවය ප්‍රකට කරමින් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක. බුදුරදුන් පිරිනිවන් පෑ කල්හි මහත් වූ භූමි කම්පාවක් ඇති විය. අහසේ හෙණ හඩ පැතිරී ගියේය. අකල් වැස්සක් ද වැස්සේය.
No comments:
Post a Comment