අප භාග්‍යවත් වූ අරහත් වූ
ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ දෙබැම අතර දකුණට කර කැවී ඉතා සුදු පැහැයෙන්
ඇති මෘදු රෝමය "ඌර්ණ රෝම ධාතුව" ලෙස හදුන්වනු ලැබේ. මෙය මහා පුරුෂ
ලක්ෂණයකි. අප මහ බෝසතුන් පෙරුම්දම් පුරන සමයෙහි මුසා බස් නොකියා සත්‍යවාදී වූ
බැවින් පුණ්‍යය විපාකයක් ලෙස මෙම මහා පුරුෂ ලක්ෂණය ලද බව දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ
දී භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාල සේක.
ඌර්ණ රෝම ධාතූන් වහන්සේගෙන්
දීප්තිමත් ආලෝක ධාරා විහිදේ. ඒවාට "ඌර්ණ රෝම ප්‍රභා" යැයි කියනු ලැබේ.
නරසීහ ගාථාවන් හි අට වැනි ගාථාවේ තෙවැනි පදයේ දී "ඕසධි පණ්ඩර සුද්ධ සූඋණ්ණො
" යනුවෙන් මේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේගේ ස්වභාවය විස්තර කර ඇත.
බුද්ධවංශ පාලියේ ධාතු
භාජනීය කථාවේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේ පිහිටා ඇති ස්ථානය මෙසේ දක්වා ඇත.
"පාටලීපුත්තනගරෙ කරකං
කායබන්ධනං
චම්පායමුදකසාටියා
උණ්ණලොමඤ්ච කොසලෙ"
මෙයින් පෙනී යන්නේ ඌර්ණ රෝම
ධාතූන් වහන්සේ කෝසල දේශයේ පිහිටි බවයි. එහෙත් පසුව එය ධර්මාශෝක මහ රජතුමාට ලැබී
ඇත. අප භාග්‍යවතුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේ තැන්පත්ව ඇත්තේ අශ්ටවංක මණ්ක්‍ය
රත්නය තුළ යි. මිහිදු මහ රහතන් වහන්සේ ධර්මාශෝක මහ රජතුමා විසින් තමන් වහන්සේට
දුන් ඌර්ණ රෝම ධාතූන් වහන්සේ සහිත අශ්ටවංක මාණික්‍ය ගෙන ලක් දිවට වැඩම කලහ. වැඩම
කොට "ඌර්ණ රෝම ධාතූන් වහන්සේ සහිත අශ්ටවංක මාණික්‍ය කිසිවෙකුටත් ගැනීමට
නොහැකි වේවා" කියා අදිටන් කර සෑගිරි පර්වතයේ (මිහින්තලයේ) එක් ස්ථානයක නිධන්
කළහ. මේ බව රාජරත්නාකරයේ දැක්වේ.
ඌර්ණ රෝම ධාතූන් වහන්සේ
සහිත අශ්ටවංක මාණික්‍ය රත්නය නිධන් කර ඒ ස්ථානයේ පසු කලෙක මහදැළියාමාන රජතුමා මහ
ස්ථූපයක් කරවා ඇත. අද ඒ අප මහ ගෞතම මුණීන්ද්‍රයන් වහන්සේගේ උතුම් ඌර්ණ රෝම ධාතූන්
වහන්සේ තැන්පත්ව ඇති ස්ථූප රාජයාණන් "මිහින්තලා මහ සෑය" ලෙස හදුන්වනු
ලැබේ. අතීතයේදී මෙය "අම්බුළු දාගැබ" ලෙසද හදුන්වා තිබේ.
No comments:
Post a Comment