අප ශාන්ති නායක අමා මෑණි ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ හිස
කෙස් "කේශ ධාතූ" ලෙස හදුන්වනු ලැබේ.උන් වහන්සේ ගේ උතුම් කේශ ධාතූන් වහන්සේලා ඉතා තද නිල් වන් ව
දක්ෂිණාවර්තව (දකුණට කරකැවී) මනා කොට ශීර්ෂයෙහි තැන්පත්ව තිබුනි.
"අඤ්ජන වණ්ණ සුනීල
සුකෙසො"
නරසීහ ගාථා
i සිළුමිණ මහා සෑය (කේශ ධාතු නිධන් කර තැනූ මුල් ම
සෑය)
සිද්ධාර්ථ ගෞතම කුමරු ගිහි
ගෙය හැර දමා අනෝමා නදී තීරයේදී මගුල් කඩුවෙන් තම කෙස් වැටිය කපා "ඉදින්
ඒකාන්තයෙන් ම බුදු වෙනවා නම් මේ කෙස් වැටිය අහසේ රැදේවා බුදු නොවේ නම් මේ කෙස්
වැටිය බිම වැටේවා " යි කියා අදිටන් කර අහසට විසි කළේය. එකෙණෙහි ඒ හිස කෙස්
යොදුනක් තරම් වූ ඉහළ අහසට පැන නැගී සිටියේය. මෙය දුටු සක්දෙව් රජ රන් කරඩුවකින්
කේශ ධාතු පිලිගෙණ තව්තිසා දෙව් ලොවට ගොස් සිළුමිණි නම් මහා සෑයක් මවා කේශ ධාතු
කරඩුව සෑය තුල තැම්පත් කර පුද සත්කාර කළේය.
ii ගිරිහඬු සෑය, තිරියාය
බුදු රජාණන් වහන්සේ
බුද්ධත්වයෙන් සත් වන සතිය "රජායතන" නම් වූ කිරිපලු රුක මුල වැඩ සිටියහ.
ඒ සතිය අවසානයේ දී භාග්‍යවතුන් වහන්සේ සතර වරම් දෙවි වරුන් පූජා කල ගල් පාත්‍රා
සතර එකක් කොට එයට තපස්සු භල්ලුක නම් වෙළඳ දෙබෑයන් විසින් පිලිගන් වන ලද අග්ගලා පිලිගෙන
අන්තයෙහි (දන් වල දා අවසාන වී) ධර්මය දේශනා කොට වදාල සේක. ධර්ම ශ්‍රවනය අවසානයේ
බුදු රදුන් සරණ ගිය වෙළඳුන් දෙදෙනා "ස්වාමීනී අපට වන්දනා කිරීමට යම්කිසි පූජා
වස්තුවක් ලබා දුන මැනැවි" කියා ඉල්ලා සිටියේය. එසමයෙහි භාග්‍යවතු
වහන්සේ දක්ෂිණ ශ්‍රී හස්තයෙන් තමන් වහන්සේගේ හිස පිරිමැද කේශ ධාතු අට මිටක් ලබා
දුන්හ. ඔවුහු කේශ ධාතු ගෞරවයෙන් පිළිගෙන තම ජාතභූමිය වූ අසිතංජන පුරයට ගොස් කේශ
ධාතු වලින් කොටසක් නිධන් කර නුවර දොරටු ව අසල ස්තුපයක් කළහ. සෑම පොහොය දිනකම මෙම
සෑයෙන් නිල් පැහැති ආලෝක ධාරා විහිදේ.
පසුව මේ වෙළදුන් දෙදෙනා
මුහුදු මාර්ගයෙන් යන අතර ලංකාද්වීපයේ තිරියාය නම් වූ ස්ථානයට පැමිණ කේශ ධාතු සහිත
කරඬුව කදු ගැටයක උඩ පිහිටි ගල් තලාවක් මත තබා ආහාර අනුභව කර නැවත කරඬුව ගැනීමට
උත්සාහ කලද එය තිබූ තැනින් අගලක් වත් එසවීමට නොහැකිව කරඬුව එසේ තිබියදී ම පස් ගල්
ආදියෙන් වසා කුඩා ස්ථූපයක් තනා මල්, සුවඳ දුම් වලින් ස්ථූපයට පූජා පවත්වා යන්නට ගියේය.
iii ගිරිහඬු සෑය, අම්බලන් තොට
මෙම ස්ථූපයේ තැන්පත් ව
ඇත්තේ ද තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් රැගෙන ආ කේශ ධාතූන් වලින් කොටසකි.
iv මහියංගන මහ සෑය
අපගේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයෙන් නව වෙනි මස දුරුතු පොහෝ දින යක්ෂයින් දමනය කිරීමට ලක් දිව මහියංගනයට වැඩම් කල සේක. වැඩම කොට යක්ෂයින් දමනය කොට දෙවියන්ට ශ්‍රී සත්ධර්මය දේශනා කලහ. දේශනය අවසානයේ සොතාපන්න ඵලයට පත් වූ සුමන සමන් දෙව් රජු "ස්වාමීනී, අපට වන්දනා කිරීමට කිසියම් පූජනීය වස්තුවක් ලබා දෙනු මැනවැ" යි කියා ඉල්ලා සිටියේය. එවෙලෙහි භාග්‍යවතු වහන්සේ දක්ෂිණ ශ්‍රී හස්තයෙන් තමන් වහන්සේගේ හිස පිරිමැද කේශ ධාතු මිටක් ලබා දුන්හ. සුමන සමන් දෙව් රජු රන් කරඬුවකින් කේශ ධාතුන් වහන්සේලා පිලිගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැන කරඬුව තැන්පත් කොට සත් රියන් උස ඉන්ද්‍ර නීල මාණික්‍යමය ස්ථූපයක් කළේය. අප මුනිදුන් ගේ කේශ ධාතූන් වහන්සේලා සහ ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ වැඩ සිටින මහියංගන මහා සෑයෙන් අවස්ථා කිහිපය දී නොයෙක් ආකාරයේ ප්‍රාතිහර්‍යයන් සිදු වී ඇත.
v සේරු විල/සේරුවා විල මංගල මහ සෑය
භූමින්ධර නම් නාග භවනේ ජයසේන නා රජු විසින් තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් ගෙන් ලබා ගෙන නා ලොව වැදුම් පිදුම් කල අප භාග්‍යවතුන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා සිව තෙරුන් විසින් මනු ලොවට වැඩම කරවිය. ඒ උතුම් කේශ ධාතූන් වහන්සේලා ද අප භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසු ආදාහනයෙන් ශේෂ වූ ධාතූන් වහන්සේලා අතරින් විශාලතම ධාතූන් වහන්සේ වූ ලලාට ධාතූන් වහන්සේ ද අදටත් සේරු විල මංගල මහ සෑ රදුන් තුල වැඩ වසති.
vi ජේතවනාරාම ස්ථූපය
“පතිට්ඨපෙත්වා ජිනකායබන්ධන්ං
සකේසධාතුං සහදෙහධාතුයො
මහාමහාසෙනනරින්ඳකාරිතං
සුචෙතියං ජේතවනං නමාමි”
ජේතවනාරාම ස්ථූපය වදින ගාථා
" භාග්‍යවත්
බුදු රජාණන් වහන්සේගේ උතුම් පටී ධාතුවත් (ඉන බඳින ලද පටිය) කේශ ධාතු ත් අස්ථි ධාතු
ත් තැන්පත් කර මහසෙන් මහ රජතුමා විසින් කරවන ලද ජේතවනාරාම මහ සෑයට මම නමස්කාර කරමි ."
vii මුතියංගන
මහ සෑය, බදුල්ල
අප භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විසින් ඉන්දක දිව්‍ය පුත්‍රයා හට
ලබා දුන් කේශ ධාතුන් වහන්සේලා මුතියංගන මහ සෑ ගර්භයේ තවම වැඩ වසති.
viii කිරි
වෙහෙර හෙවත් මඟුල් මහ සෑය, කතරගම
මෙම
ස්ථූප රජයාණන් වහන්සේ තුලද අප ස්වාමී වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු
රජාණන් වහන්සේගේ උතුම් කේශ ධාතූන් වහන්සේලා ප්‍රාතිහාර්‍ය පාමින් තවම වැඩ වසති.
ix Shwedagon Pagoda (ස්වේදගොන් ස්ථූපය), මියන්මාරය ( බුරුමය )
තපස්සු භල්ලික වෙළද දෙබෑයන් බුරුම රට ට ගෙන ගිය අප භාග්‍යවතුන්
වහන්සේගේ උතුම් කේශ ධාතූ න් වහන්සේලා ගෙන් කොටසක් නිධන් කර ඉදි කරන ලද මෙම
ස්ථූපයෙහි රන් ආලේප කර ඇත.
මෙම මහා සෑය රැන්ගුන් නුවර
පිහිටා ඇත. මීට අමතරව බුරුමයේ තවත් පුරාණ ස්ථූප කිහිපයක උතුම් සම්බුද්ධ කේශ ධාතූන්
තැන්පත් කර ඇතැයි සැලකේ.
x චිතගොන්
විහරයේ තිබූ කේශ ධාතු, බංග්ලාදේශය
මෙම විහාරයෙන් ලංකාවට ගෙන ආ අප භාග්‍යවතුන් වහන්සේ ගේ උතුම් කේශ
ධාතූන් වහන්සේලා හලාවත මාදම්පේ සේනානායකාරාමයේ ශිලා ස්ථූපයක ද කොළඹ හුණුපිටිය
ගංගාරාම මහ විහාරයේ ද වැඩ වසති.
මීට අමතරව කුරුණෑගල මාවතගම අරම්පළ මකුලාන පුරාණ රජ මහා විහාරයේ ස්ථූපයේ
ද දකුණු පළාතේ තංගලු විහාරයේ ද උතුම් සම්බුද්ධ කේශ ධාතූන් තැන්පත් ව ඇත. ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක ද
පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය
යන රටවල් දෙකේ ඇති ස්ථූප කිහිපයක අප භාග්‍යවතුන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා
තැන්පත් ව ඇතැයි හියුං සියං වාර්ථා වල සදහන් වේ.
***
චත්තාළීස සම දන්තා- කෙසා ලොමා ච සබ්බසො
දෙවා හරිංසු එකෙකං- චක්කවාළපරම්පරා
මහා පරිනිර්වාණ සූත්‍රය අවසානයේ ඇති මෙම ගාථාවට අනුව බුදුරදුන් ගේ සම සතළිස් දන්ත ධාතූන් වහන්සේලා ද කේශ ධාතූන් වන්සේලා ද ලෝම ධාතූන් වහන්සේලා ද නොයෙක් සක්වළින් පැමිණි දේවතාවන් ගෙණ ගොස් ඇත.
No comments:
Post a Comment