Thursday, May 21, 2015

15. සිරිපා සටහන්


භාග්‍යවතුන් වහන්සේ ගේ පාදයේ පිහිටි මහා පුරුෂ ලක්ෂණ 

ප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ පා සටහනට "සිරිපා සටහන" යනුවෙන් කියනු ලැබේ. බුදුරදුන් ගේ ශ්‍රී පාද පත්මයන්  සාමාන්‍ය මනුෂ්‍යයෙකු ගේ පාදයන්ට වා පැහදිලි වෙනස්කම් වලින් යුතු වේ.
1     "සුප්පතිඨිත පාදෝ හෝති"  පාදය සමව භූමියේ පිහිටයි.
සාමාන්‍ය මනුෂ්‍යයෙකු පාදය තබන විට මුලින් ම විලුබ හෝ පාදයේ ඉදිරි කොටස තබයි. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුළු යටි පතුල ම එකවර භූමියේ ස්පර්ශ වන ලෙස පාදය තබයි.

2     මුළු යටි පතුලම භූමියේ ස්පර්ශ  වේ.
සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ පාදය යටි පතුල වක ගැසී හිඩැසක් සහිතව පිහිටයි. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී පාද පත්මයේ යටි පතුලේ එම ප්‍රදේශයද මසින් පිරී පිහිටයි. මේ නිසා සම්බුදුරජුන් ගේ ශ්‍රී පාද පත්මයේ යටි පතුල, පා ඇගිලි අඟ සිට විලුඹ අවසානය දක්වා මුළු යටි පතුලම භූමිය ස්පර්ශ කරයි.


      මෙම මහා පුරුෂ ලක්ෂණ දෙක ලැබූයේ සංසාරයේ මනුෂ්‍යයෙක් වී ඉපදී සිටින විට බොහෝ කාලයක්


* නිරන්තරයෙන් කය, වචනය, මනස යන තුන් දොරින් සුචරිතයේ යෙදී වාසය කිරීම 
* දන් පැන් දීම   
* සිල් සමාදන් වීම 
* උපෝසථ සමාදන් වීම 
* මවට උපස්ථාන කිරීම 
* පියාට උපස්ථාන කිරීම 
* ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට උපස්ථාන කිරීම 
* කුලයෙහි වැඩිහිටියන්ට උපස්ථාන කිරීම 
* නොයෙක් ආකාරයට පින් දහම් කිරීමෙන් ය. 

මරණින් මත්තේ දිව්‍ය ලෝකයේ ඉපදී අග්‍ර ආයු, වර්ණ, සැප, යසස, අධිපති භාවය ද අග්‍ර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන පංච කාමයන් ද ලබන්නේය.

මනුලොව ඉපිද සම්මා සම්බුද්ධත්වයට පත් වූ විට මහා පුරුෂ ලක්ෂණ දෙක ලබා අභ්‍යන්තරික ව හෝ බාහිර ව කිසිදු සතුරෙකුට 
රාගෙයෙන් (රාග අරමුණ ක් ලබා දී)
ද්වේශයෙන් (ද්වේශ අරමුණ ක් ලබා දී)
මෝහයෙන් (මෝහ අරමුණක් ලබා දී) 
තථාගතයන් වහන්සේව මර්දනය කල නොහැක්කේ ය. අනතුරක් කල නොහැක්කේ ය. 

**

3     මනාකොට බෙදෙන ලද දහසක් නිම් වළලු ඇති චක්‍ර යටි පතුලේ පිහිටයි. 

     එම මහා පුරුෂ ලක්ෂණ ලැබූයේ සංසාරයේ මනුෂ්‍යයෙක් වී ඉපදී සිටින විට බොහෝ කාලයක්

බොහෝ ජනයාට සැප ලබා දී භය තැති ගැනීම්, ශෝක, වැළපීම් පැමිණද් දි ඒවාට මැදිහත් වී මිනිසුන් බේරා   ගෙන ආරක්ෂාව සපයා සංවිධානය කරමින් දන් පැන් දීමට කටයුතු කල නිසාවෙනි. 


මනුලොව ඉපිද සම්මා සම්බුද්ධත්වයට පත් වූ විට මහා පුරුෂ ලක්ෂණය ලබා මහා පරිවාර ලබයි.
භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා මහා පිරිවර
දේව මහා පිරිවර 
නාග මහා පිරිවර 
මිනිස් මහා පිරිවර 
අසුර මහා පිරිවර 
ගන්ධබ්බ මහා පිරිවර 

**

4     දිගු විලුඹ 
5     දිගු ඇගිලි 
6     ඍජු සිරුර 

     එම මහා පුරුෂ ලක්ෂණ ලැබූයේ සංසාරයේ මනුෂ්‍යයෙක් වී ඉපදී සිටින විට බොහෝ කාලයක් 

සතුන් මැරීම බැහැර කර සතුන් මැරීමෙන් වෙන් වී දඩු මුගුරු බැහැර කර අවි ආයුධ බැහැර කර සතුන් මැරීමට ලැජ්ජා ඇති ව සතුන් කෙරෙහි දයානුකම්පාවෙන් සියලු සතුන් කෙරෙහි දයානුකම්පාවෙන් යුක්තව වාසය කිරීම නිසාවෙනි. 


 මනුලොව ඉපිද සම්මා සම්බුද්ධත්වයට පත් වූ විට මහා පුරුෂ ලක්ෂණ ලබා දීර්ඝායුෂ ලබන්නේ බොහෝ කාලයක් වැඩ සිටී. ඒ අතර කාලයේ දී කිසි දෙවියෙකුට, මාරයෙකුට, අසුරයෙකුට,... හෝ මේ ලෝකයේ කිසිවකුට තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ව ඝාතනය කල නොහැක. 
ලක්ඛණ සූත්‍රය අසුරෙන් 

ලක්ඛණ සූත්‍රය ශ්‍රවනය කරන්න
(දේශකයානන් වහන්සේ -අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ, මහමෙව්නා අසපු සංචිතයේ නිර්මාතෘ )  


--------------------------------------------------------------------------------------------------------------------------




සමනළ ගිරි මුදුනේ මුනි සිරිපා 

අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වෙනි වසරේ දී මණිඅක්ඛික නරජු ගේ ඇරයුමින් පන්සියයක් මහ රහතුන් වහන්සේලා ද සමගින් කැළණියට වැඩම කර නාරජු පිළිගැන්වූ දන් වළඳා අන්තයෙහි සුමන සමන් දෙව් රජුගේ ඇරයුමින් මහ රහතුන් වහන්සේලා ද පිරිවරා සමනළ කදු මුදුනට වැඩම කල සේක.  වැඩම කොට කදු මුදුනෙහි වූ ඉන්ද්‍රනීල මාණික්‍යක් මත තමන් වහන්සේගේ වම් ශ්‍රී පාද පත්ම සටහන පිහිට වූ සේක. 
අතීතයේ ශ්‍රී පාද වන්දනා වේ පැමිණි රජ දරුවන් ඉන්ද්‍රනීල මාණික්‍යය මත පිහිටා තිබුණු සිරිපා සටහනේ ආරක්ෂාවට ගල් තලාවකින් සිරිපා සටහන ආවරණය කර ඇත. එබැවින් ශ්‍රී පාද වන්දනාවේ යන සැදැහැතියන් ට අද දැක බලා ගැනීමට ඇත්තේ එම ගල් තලාවයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද සටහන ඇත්තේ එම ගල් තලාවට යටිනි. 



මේ මහා භද්‍ර කල්පයෙහි ලොව පහළ වූ කකුසඳකෝණාගමනකාශ්‍යප යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගේ ශ්‍රී පාද පත්ම සටහන් පිහිටුවා තිබුණේ ද මෙම ස්ථානයේ මය. මේ බව අඹගමු සෙල් ලිපියෙන් ද තහවුරු වේ. 


කැළණි ගං මිටියාවතේ මුනි සිරිපා සඟවා ගියේ 

පූජාවලියේ සඳහන් ව ඇති ආකාරයට අප භාග්‍යවතුන් වහන්සේ කැළණියට වැඩි අවස්ථාවේ දි නා රජුගේ ඉල්ලීමකට අනුව කැළණි ගං පතුලට කිමිද වැඩ ශ්‍රී පාද පත්ම සටහන පිහිටුවා ඇත. කැළණි ගං පතුලේ සිරිපා සටහනක් පිහිට වූ බව සදහන් ව තිබුනද ඊට වැඩියමක් සදහන් නොවන හෙයින් ඒ කිනම් ස්ථානය ද කියා අද වන තුරුත් සොයා ගෙන නැත. නමුත් මේ ස්ථානය කැළණි විහාරයට නුදුරින් පිහිටි ස්ථානයක් බව පැහැදිලිය. 





අභයගිරි ස්ථූපයේ මුනි සිරිපා 

අනුරාධපුරයේ අභයගිරි ස්ථූපය තනා ඇත්තේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද සටහනක් මතය. මේ බව ක්‍රි.ව 5 වැනි සියවසට අයත් ෆාහියන් වාර්ථාවේ සදහන් වෙයි. 








පදලාඤ්චන චේතිය 

ථූපාරාමය සමීපයේ ප්‍රමාණයෙන් කුඩා ස්ථූපයක නටබුන් දක්නට ලැබේ. මේ ස්ථූපය පදලාඤ්චන චේතිය යන නමින් හදුන්වනු ලැබේ. මෙම ස්ථූපය තනා ඇත්තේද භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සටහනක් මතය. 





නර්මදා නදී හි සැගවුනු සම්බුදු සිරිපා 

සුනාපරන්ත පුණ්ණ මහ රහතන් වහන්සේ ගේ ඇරයුමෙන් අප භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් මහ රහතුන් වහන්සේලා පිරිවරා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් මවන ලද කූටාගාර වලට නැගී යොදුන් තුන් සියයක් තරම් ඈතින් පිහිටි සුනාපරන්ත දේශයට වැඩම කල සේක. වැඩම කොට එහි වූ මකුලකාරාම මහ විහාරයේ දින කිහිපයක් වැඩ සිටියහ. පසුව පුණ්ණ තෙරුන් එහි නවතා පන්සියයක් මහ රහතුන් වහන්සේලා ද සමගින් දෙවුරම් මහ විහාරය බලා අහසින් වැඩම කළ සේක. අහසින් වැඩම කරන අප භාග්‍යවතුන් වහන්සේ අතරමග දී නර්මදා නම් වූ නදී තෙරට වැඩම කළ සේක. නර්මදා නා රජු ඉදිරියට පැමිණ බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ මහ සඟ රුවන මහත් වූ ගෞරවයෙන් යුතුව පිළිගෙන තම භවනට වැඩම කරවා ගෙන ගොස් නොයෙක් අයුරින් සත්කාර සංග්‍රහ කළේය. භාග්‍යවතුන් වහන්සේ නා රජුට දහම් දෙසා නාග භවනෙන් වැඩම කිරීමට සූදානම් වූහ.


එකල්හි නර්මදා නා රජු බුදුරජුන් වෙත එළැඹ "ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස අපට වන්දනා කිරීමට කුමන හෝ වස්තුවක් ලබා දුන මැනවැ" යි කියා ආයාචනා කොට සිටියේය.  මහා කාරුණික අප සමිදුන් නර්මදා නදී තීරයට එළැඹ තමන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද පත්මයේ සටහනක් නර්මදා නදී තීරයේ පිහිටවූ සේක. මේ සිරිපා සටහන මුහුදු රළ පැමිණි විට වැසී යයි. රළ ගිය පසු යලි විවෘත වෙයි. මේ සිරිපා සටහන බොහෝ දෙනාගේ සත්කාර ලබයි. 

මෙසේ ගෞතම බුදුරදුන් නා රජුගේ ඉල්ලීමට නර්මදා නදී තීරයේ පිහිටවූ බව පැවසුව ද ඒ කුමන ස්ථානයක් දැයි කියා මෙතෙක් හදුනා ගෙණ නැත. නර්මදා නදිය ඉන්දියාවේ ප්‍රධාන නදී අතරින් එකකි. 


නර්මදා නදිය
























තිරුපති වල සම්බුදු සිරිපා වදිම්


නර්මදා නදි තීරයේ ශ්‍රී පාද සටහන පිහිට වූ අප ගෞතම මුනි සමිදු පන්සියයක් රහතුන් වහන්සේලා සමග ජම්බුද්වීපයේ දකුණු පදෙසේ පිහිටි සච්චබද්ධ පර්වතයට වැඩම කළ සේක. වැඩම කොට සච්චබද්ධ මහ රහතන් වහන්සේගේ ආයාචනය මත මහා කරුණාවෙන් පර්වතය මුදුනේ වූ ඝන පාෂාණයක් මත තමන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද පත්මයේ සටහනක් පිහිට වූ සේක. සච්චබද්ධ පර්වතය මත සිරිපා සටහන පිහිට වූ බුදු රජුන් සච්චබද්ධ මහ රහතන් වහන්සේ එහි නවතා අනෙක් මහ රහතුන් වහන්සේලා ද සමගින් දෙවුරම් මහා විහාරයට වැඩම කළ සේක. 

දකුණූ ඉන්දියාවේ පිහිටි සච්චබද්ධ පර්වතය අද "තිරුපති" නමින් හදුන් වන හින්දු වරුන්ගේ මහා පුද බිමකි, ශුද්ධ වූ ස්ථානයකි. ඒ ත් බෞද්ධයෝ ද අප ගෞතම සම්මා සම්බුදු රජුන්ගේ උතුම් සිරිපා වන්දනා කිරීමට එම ස්ථානයට යති.  



Saturday, May 16, 2015

12. ඌර්ණ රෝම ධාතුන් වහන්සේ


අප භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ දෙබැම අතර දකුණට කර කැවී ඉතා සුදු පැහැයෙන් ඇති මෘදු රෝමය "ඌර්ණ රෝම ධාතුව" ලෙස හදුන්වනු ලැබේ. මෙය මහා පුරුෂ ලක්ෂණයකි. අප මහ බෝසතුන් පෙරුම්දම් පුරන සමයෙහි මුසා බස් නොකියා සත්‍යවාදී වූ බැවින් පුණ්‍යය විපාකයක් ලෙස මෙම මහා පුරුෂ ලක්ෂණය ලද බව දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාල සේක.
ඌර්ණ රෝම ධාතූන් වහන්සේගෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදේ. ඒවාට "ඌර්ණ රෝම ප්‍රභා" යැයි කියනු ලැබේ. නරසීහ ගාථාවන් හි අට වැනි ගාථාවේ තෙවැනි පදයේ දී "ඕසධි පණ්ඩර සුද්ධ සූඋණ්ණො " යනුවෙන් මේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේගේ ස්වභාවය විස්තර කර ඇත. 
බුද්ධවංශ පාලියේ ධාතු භාජනීය කථාවේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේ පිහිටා ඇති ස්ථානය මෙසේ දක්වා ඇත. 

"පාටලීපුත්තනගරෙ කරකං කායබන්ධනං 
චම්පායමුදකසාටියා උණ්ණලොමඤ්ච කොසලෙ" 


මෙයින් පෙනී යන්නේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේ කෝසල දේශයේ පිහිටි බවයි. එහෙත් පසුව එය ධර්මාශෝක මහ රජතුමාට ලැබී ඇත. අප භාග්‍යවතුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේ තැන්පත්ව ඇත්තේ අශ්ටවංක මණ්ක්‍ය රත්නය තුළ යි. මිහිදු මහ රහතන් වහන්සේ ධර්මාශෝක මහ රජතුමා විසින් තමන් වහන්සේට දුන් ඌර්ණ රෝම ධාතූන් වහන්සේ සහිත අශ්ටවංක මාණික්‍ය ගෙන ලක් දිවට වැඩම කලහ. වැඩම කොට "ඌර්ණ රෝම ධාතූන් වහන්සේ සහිත අශ්ටවංක මාණික්‍ය කිසිවෙකුටත් ගැනීමට නොහැකි වේවා" කියා අදිටන් කර සෑගිරි පර්වතයේ (මිහින්තලයේ) එක් ස්ථානයක නිධන් කළහ. මේ බව රාජරත්නාකරයේ දැක්වේ. 
















ඌර්ණ රෝම ධාතූන් වහන්සේ සහිත අශ්ටවංක මාණික්‍ය රත්නය නිධන් කර ඒ ස්ථානයේ පසු කලෙක මහදැළියාමාන රජතුමා මහ ස්ථූපයක් කරවා ඇත. අද ඒ අප මහ ගෞතම මුණීන්ද්‍රයන් වහන්සේගේ උතුම් ඌර්ණ රෝම ධාතූන් වහන්සේ තැන්පත්ව ඇති ස්ථූප රාජයාණන් "මිහින්තලා මහ සෑය" ලෙස හදුන්වනු ලැබේ. අතීතයේදී මෙය "අම්බුළු දාගැබ" ලෙසද හදුන්වා තිබේ. 

Friday, May 15, 2015

11. නඛ ධාතූන් වහන්සේලා



අප භග්‍යවතුන් වහන්සේ ගේ නියපොතු වලට "නඛ ධාතූන්" යනුවෙන් කියනු ලැබේ. අප ශාස්තෘන් වහන්සේගේ නියපොතු සිනිඳු තඹ පැහැති ය. කේශ ධාතූන් වහන්සේලා මෙන්ම නඛ ධාතූන් වහන්සේලා ද නිධන් කර ස්ථූප තැනීම ආරම්භ වූයේ අප මුනිදුන් ජීවමානව වැඩ සිටි කාලයේ දී මය. ඉන්දියාවේ විවිද ප්‍රදේශ වල මෙන්ම පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය යන රටවල් දෙකේ ද අප මුනිදුන් ගේ කේශ ධාතූන් වහන්සේලා මෙන්ම නඛ ධාතූන් වහන්සේලා නිධන් කර තැනූ ස්ථූප පිහිටා තිබූ බව හියුං සියං වාර්තාවේ සදහන් වේ. 
අනුරාධපුර ශුද්ධ නගරයේ "නඛා වෙහෙර" නම් වූ පුරාණ ස්ථූපයක් දක්නට ඇත. මෙම ස්ථූපය චතුරස්‍රාකාර වන අතර ගඩොලින් බැද තිබේ. ස්ථූප ගර්භයේ අප මුනිදුන් වූ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නිය ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇතැයි සැලකේ.

**මේ ධාතු ස්තූපය කිසිවෙකු ගේ අවධානයක් නැති ව වල් බිහි වී දිනෙන් දින ම විනාශ වෙමින් පවතී. 


දීඝවාපී මහ සෑය 


අප තිලෝගුරු අමා මෑණී ගෞතම සම්මා සම්බුදු රජුන් ගේ වාම ශ්‍රී හස්තයෙහි වැඩ සිටි උතුම් නිය ධාතූන් වහන්සේලා වැඩ සිටින දීඝවාපී මහ සෑය අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. සද්ධාතිස්ස මහ රජතුමා විසින කර වූ මෙම ස්ථූපය අතීතයේ නඛ වෙහෙර, නඛා වෙහෙර යනුවෙන් ද ප්‍රකට ව තිබුණි. මහා වංශයේ සදහන් වන ආකාරයට අප සමිදු න් තෙවැනි වරට ලංකාද්වීපයට වැඩම කල අවස්ථාවේ  දී සමනල කඳු මුදුනේ වම් සිරිපා සටහන පිහිටුවා දිවා විහරණය කොට ඉන් පසු දීඝවාපියට වැඩම කර පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිට ඇත. 



**කල්පයකිනුත්  බුදුවරුන් ගේ පහල වීම දුර්ලබය. එසේ තිබියදී ත් අප හට පහල වූ උතුම් ම මාණික්‍ය රත්නය වන්නා වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු රජාණන වහන්සේ ගේ උතුම් නිය ධාතූන් වහන්සේලා වැඩ සිටින දීඝවාපී මහ සෑය මේ වන විට ගරා වැටෙමින් පවතී. හුදකලාව පවතින මේ මහා සෑය කෙරෙහි කිසිවෙකුගේ අවධානය යොමු නොවීම මහත් වූ දුකට කරුණකි. 


Thursday, May 14, 2015

10. කේශ ධාතූන් වහන්සේලා






අප ශාන්ති නායක අමා මෑණි ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ හිස කෙස් "කේශ ධාතූ" ලෙස හදුන්වනු ලැබේ.උන් වහන්සේ ගේ උතුම් කේශ ධාතූන් වහන්සේලා ඉතා තද නිල් වන් ව දක්ෂිණාවර්තව (දකුණට කරකැවී) මනා කොට ශීර්ෂයෙහි තැන්පත්ව තිබුනි. 
   
"අඤ්ජන වණ්ණ සුනීල සුකෙසො"
                                          නරසීහ ගාථා


i සිළුමිණ මහා සෑය (කේශ ධාතු නිධන් කර තැනූ මුල් ම සෑය) 

සිද්ධාර්ථ ගෞතම කුමරු ගිහි ගෙය හැර දමා අනෝමා නදී තීරයේදී මගුල් කඩුවෙන් තම කෙස් වැටිය කපා "ඉදින් ඒකාන්තයෙන් ම බුදු වෙනවා නම් මේ කෙස් වැටිය අහසේ රැදේවා බුදු නොවේ නම් මේ කෙස් වැටිය බිම වැටේවා " යි කියා අදිටන් කර අහසට විසි කළේය. එකෙණෙහි ඒ හිස කෙස් යොදුනක් තරම් වූ ඉහළ අහසට පැන නැගී සිටියේය. මෙය දුටු සක්දෙව් රජ රන් කරඩුවකින් කේශ ධාතු පිලිගෙණ තව්තිසා දෙව් ලොවට ගොස් සිළුමිණි නම් මහා සෑයක් මවා කේශ ධාතු කරඩුව සෑය තුල තැම්පත් කර පුද සත්කාර කළේය. 


ii ගිරිහඬු සෑය, තිරියාය 

බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් සත් වන සතිය "රජායතන" නම් වූ කිරිපලු රුක මුල වැඩ සිටියහ. ඒ සතිය අවසානයේ දී භාග්‍යවතුන් වහන්සේ සතර වරම් දෙවි වරුන් පූජා කල ගල් පාත්‍රා සතර එකක් කොට එයට තපස්සු භල්ලුක නම් වෙළඳ දෙබෑයන් විසින් පිලිගන් වන ලද අග්ගලා පිලිගෙන අන්තයෙහි (දන් වල දා අවසාන වී) ධර්මය දේශනා කොට වදාල සේක. ධර්ම ශ්‍රවනය අවසානයේ බුදු රදුන් සරණ ගිය වෙළඳුන් දෙදෙනා "ස්වාමීනී අපට වන්දනා කිරීමට යම්කිසි පූජා වස්තුවක් ලබා දුන මැනැවි"  කියා ඉල්ලා සිටියේය. එසමයෙහි භාග්‍යවතු වහන්සේ දක්ෂිණ ශ්‍රී හස්තයෙන් තමන් වහන්සේගේ හිස පිරිමැද කේශ ධාතු අට මිටක් ලබා දුන්හ. ඔවුහු කේශ ධාතු ගෞරවයෙන් පිළිගෙන තම ජාතභූමිය වූ අසිතංජන පුරයට ගොස් කේශ ධාතු වලින් කොටසක් නිධන් කර නුවර දොරටු ව අසල ස්තුපයක් කළහ. සෑම පොහොය දිනකම මෙම සෑයෙන් නිල් පැහැති ආලෝක ධාරා විහිදේ. 


පසුව මේ වෙළදුන් දෙදෙනා මුහුදු මාර්ගයෙන් යන අතර ලංකාද්වීපයේ තිරියාය නම් වූ ස්ථානයට පැමිණ කේශ ධාතු සහිත කරඬුව කදු ගැටයක උඩ පිහිටි ගල් තලාවක් මත තබා ආහාර අනුභව කර නැවත කරඬුව ගැනීමට උත්සාහ කලද එය තිබූ තැනින් අගලක් වත් එසවීමට නොහැකිව කරඬුව එසේ තිබියදී ම පස් ගල් ආදියෙන් වසා කුඩා ස්ථූපයක් තනා මල්, සුවඳ දුම් වලින් ස්ථූපයට පූජා පවත්වා යන්නට ගියේය.  


iii ගිරිහඬු සෑය, අම්බලන් තොට 

මෙම ස්ථූපයේ තැන්පත් ව ඇත්තේ ද තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් රැගෙන ආ කේශ ධාතූන් වලින් කොටසකි. 


iv මහියංගන මහ සෑය 


      අපගේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයෙන් නව වෙනි මස දුරුතු පොහෝ දින යක්ෂයින් දමනය කිරීමට ලක් දිව මහියංගනයට වැඩම් කල සේක. වැඩම කොට යක්ෂයින් දමනය කොට දෙවියන්ට ශ්‍රී සත්ධර්මය දේශනා කලහ. දේශනය අවසානයේ සොතාපන්න ඵලයට පත් වූ සුමන සමන් දෙව් රජු "ස්වාමීනී, අපට වන්දනා කිරීමට කිසියම් පූජනීය වස්තුවක් ලබා දෙනු මැනවැ" යි කියා ඉල්ලා සිටියේය. එවෙලෙහි භාග්‍යවතු වහන්සේ දක්ෂිණ ශ්‍රී හස්තයෙන් තමන් වහන්සේගේ හිස පිරිමැද කේශ ධාතු මිටක් ලබා දුන්හ. සුමන සමන් දෙව් රජු රන් කරඬුවකින් කේශ ධාතුන් වහන්සේලා පිලිගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැන කරඬුව තැන්පත් කොට සත් රියන් උස ඉන්ද්‍ර නීල මාණික්‍යමය ස්ථූපයක් කළේය. අප මුනිදුන් ගේ කේශ ධාතූන් වහන්සේලා සහ ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ වැඩ සිටින මහියංගන මහා සෑයෙන් අවස්ථා කිහිපය දී නොයෙක් ආකාරයේ ප්‍රාතිහර්‍යයන් සිදු වී ඇත.


v සේරු විල/සේරුවා විල මංගල මහ සෑය


භූමින්ධර නම් නාග භවනේ ජයසේන නා රජු විසින් තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් ගෙන් ලබා ගෙන නා ලොව වැදුම් පිදුම් කල අප භාග්‍යවතුන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා සිව තෙරුන් විසින් මනු ලොවට වැඩම කරවිය. ඒ උතුම් කේශ ධාතූන් වහන්සේලා ද අප භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසු ආදාහනයෙන් ශේෂ වූ ධාතූන් වහන්සේලා අතරින් විශාලතම ධාතූන් වහන්සේ වූ ලලාට ධාතූන් වහන්සේ ද අදටත් සේරු විල මංගල මහ සෑ රදුන් තුල වැඩ වසති.  


vi ජේතවනාරාම  ස්ථූපය



“පතිට්ඨපෙත්වා ජිනකායබන්ධන්ං
සකේසධාතුං සහදෙහධාතුයො
මහාමහාසෙනනරින්ඳකාරිතං
සුචෙතියං ජේතවනං නමාමි”  
                 ජේතවනාරාම ස්ථූපය වදින ගාථා





"  භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ උතුම් පටී ධාතුවත් (ඉන බඳින ලද පටිය) කේශ ධාතු ත් අස්ථි ධාතු ත් තැන්පත් කර මහසෙන් මහ රජතුමා විසින් කරවන ලද ජේතවනාරාම මහ සෑයට මම නමස්කාර කරමි ."



vii මුතියංගන මහ සෑය,  බදුල්ල 




අප භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විසින් ඉන්දක දිව්‍ය පුත්‍රයා හට ලබා දුන් කේශ ධාතුන් වහන්සේලා මුතියංගන මහ සෑ ගර්භයේ තවම වැඩ වසති.










viii කිරි වෙහෙර හෙවත් මඟුල් මහ සෑය, කතරගම 


 මෙම ස්ථූප රජයාණන් වහන්සේ තුලද අප ස්වාමී වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් කේශ ධාතූන් වහන්සේලා ප්‍රාතිහාර්‍ය පාමින් තවම වැඩ වසති. 




ix Shwedagon Pagoda (ස්වේදගොන් ස්ථූපය), මියන්මාරය ( බුරුමය ) 


තපස්සු භල්ලික වෙළද දෙබෑයන් බුරුම රට ට ගෙන ගිය අප භාග්‍යවතුන් වහන්සේගේ උතුම් කේශ ධාතූ න් වහන්සේලා ගෙන් කොටසක් නිධන් කර ඉදි කරන ලද මෙම ස්ථූපයෙහි රන් ආලේප කර ඇත.
මෙම මහා සෑය රැන්ගුන් නුවර පිහිටා ඇත. මීට අමතරව බුරුමයේ තවත් පුරාණ ස්ථූප කිහිපයක උතුම් සම්බුද්ධ කේශ ධාතූන් තැන්පත් කර ඇතැයි සැලකේ.   









x චිතගොන් විහරයේ තිබූ කේශ ධාතු, බංග්ලාදේශය 


මෙම විහාරයෙන් ලංකාවට ගෙන ආ අප භාග්‍යවතුන් වහන්සේ ගේ උතුම් කේශ ධාතූන් වහන්සේලා හලාවත මාදම්පේ සේනානායකාරාමයේ ශිලා ස්ථූපයක ද කොළඹ හුණුපිටිය ගංගාරාම මහ විහාරයේ ද වැඩ වසති. 

මීට අමතරව කුරුණෑගල මාවතගම අරම්පළ මකුලාන පුරාණ රජ මහා විහාරයේ ස්ථූපයේ ද දකුණු පළාතේ තංගලු විහාරයේ ද උතුම් සම්බුද්ධ කේශ ධාතූන් තැන්පත් ව ඇත. ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක ද පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය යන රටවල් දෙකේ ඇති ස්ථූප කිහිපයක අප භාග්‍යවතුන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා තැන්පත් ව ඇතැයි හියුං සියං වාර්ථා වල සදහන් වේ. 


***

චත්තාළීස සම දන්තා- කෙසා ලොමා ච සබ්බසො 
දෙවා හරිංසු එකෙකං- චක්කවාළපරම්පරා 

මහා පරිනිර්වාණ සූත්‍රය අවසානයේ ඇති මෙම ගාථාවට අනුව බුදුරදුන් ගේ සම සතළිස් දන්ත ධාතූන් වහන්සේලා ද කේශ ධාතූන් වන්සේලා ද ලෝම ධාතූන් වහන්සේලා ද නොයෙක් සක්වළින් පැමිණි දේවතාවන් ගෙණ ගොස් ඇත. 


Tuesday, May 7, 2013

09 ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ


කොඳු ඇට පෙලේ ඉහලින්ම් ඇති අස්ථි සත " ග්‍රෙවී කශේරුකා " නම් වෙයි. මේවා සත එකට ගෙන ග්‍රීවාස්ථිය ලෙස ද හදුන්වයි.



බුද්ධ ශරීරය ආදාහනය කරණ කල්හි දම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් ගේ සිසුවෙකු වූ " සරභූ " නම් මහත් ඍදි ඇති තෙරහු දැවෙන චිත්කයෙන් සූවාසූ දහසක් ධර්මස්කන්දය ස්පර්ශ කලා වූ ස්ඵටික මාණික්‍යමය මෘදංග භේරියක් (මිහිඟු බෙරයක්) වැනි වූ සර්වඥ ග්‍රීවාස්ථි ධාතුව ගෙණ අහසට පැන නැගී පන්සියයක් භික්ෂූන් ද සමගින් ලක්දිව මහියංගනයට වැඩම කළහ. 
මහියංගන මහා සෑය - බුදුරජුන් පලමු වරට ලක්දිවට වැඩම කල අවස්තාවේ දී යක්ෂයින්
දමනය කර දෙවියන්ට දහම් දෙසුවේ මේ ස්ථානයේ දී ය. 
වැඩම කර සුමන සමන් දෙව් රජු බුදුන් වහන්සේගේ කේශ ධාතු නිදන් කර සත්‍ රියන් උසට කර තිබූ ඒ ඉන්ද්‍රනීල මාණික්‍යමය ස්තූපයෙහි සර්වඥ ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ තබා සීවලී සහ සුමන යන මහා ඍදි ඇති සාමණේරයන් වහන්සේලා දෙනම ලවා නාලොවින් ගෙන්වා ගත් මේද වර්ණ පාෂාණයෙන් සෑය වසා දොලොස් රියන් උසට ස්තූපය කරවා කුසිනාරා නුවරට ම වැඩම කලහ. 
පසු කලෙක දේවානම්පියතිස්ස මහ රජු ගේ සොහොයුරෙකු වූ උද්ධචූළාභය කුමරු මහත් ආනුභවය ඇති ඒ සෑය දැක එය වසා තිස් රියන් උසට ස්ථූපයක් කර වීය. පසුව දුටු ගැමුණු මහ රජතුමා තිස් රියන් උස ඒ සෑය වසා අසූ රියන් උසට මහ සෑයක් කරවීය. 

Friday, May 3, 2013

08 දාඨා ධාතූන් වහන්සේලා


සතර දළදාවන් ද නොවිසිරුනු ධාතූන් අතරට අයත් වේ. "දළදා" යනුවෙන් හදුන් වන්නේ "රදනක" (Canine) නම් වූ දත් විශේෂයයි.  
රදනක දත් සතරකි. පාලි භාෂාවෙන් රදනක දත් වලට "දාඨා" යැයි කියනු ලැබේ. මේ දත් සතර අනෙක් දත් වලට වඩා මදක් උල් ය.
දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේට දත් සතළිසක් විය. උඩු ඇන්දේ දත් විස්සකි. යටි ඇන්දේ දත් විස්සකි. ඒ දත් අතර සිදුරු, හිඩැස් නොවීය. එසේම දත් උස නොවීය, කෙටි නොවීය, ඇල නොවීය. සියලු දත් මුතු ඇට පෙලක් මෙන් සමව පිහිටා තිබුණි. දළදා සතර අනෙක් දත් වලට වඩා ඉතා සුදු පැහයෙන් යුක්ත විය.
සතර දළදවන් ගෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදේ. ඒවාට "දාඨා ප්‍රභා" යයි කියනු ලැබේ. සතර දළදාවන් හොදින් දැක ගැනීමට ලැබෙන්නේ ස්ර්වඥයන් වහන්සේ සිනහ පහළ කරන අවස්ථාවන්හි දී පමණි.

ද්‍රෝණ බමුණා විසින් ධාතු බෙදන අවස්තාවේ දී සගවා ගත් දළදාවන් තුන් නමට සිදුවූයේ කුමක්ද?

ධාතු බෙදන අවස්තාවේ දී දෙදෙවු ලොවට අධිපති සක්‍ දෙවු රජු බුදුරජුන්ගේ දකුණු දළදාව නොදැක "සර්වඥයන් වහන්සේගේ දකුණු දළදාව කවරෙකු විසින් ගනු ලැබුවා දැ?" යි කියා දිවැසින් බලන කල්හි ධාතු බෙදන ද්‍රෝණ බමුණා විසින් ම ගෙන ජටාව තුල සගවා ගෙන සිටින බව දැක "මොහුට මේ ධාතූන් වහන්සේට පුද සත්කාර කිරීමට හැකියාවක් තිබෙන්නේ දැ?" යි කියා බලන ලදි. එහිදී එය නොහැකි බව දැන "මොහු ගෙන් ධාතූන් වහන්සේ ගනිමි" යි සිතා ඉතා සියුම් අතක් මවා ඔහුට නොදැනෙන ලෙස ධාතූන් වහන්සේ ගෙන රන් කරඬුවක තැන්පත් කර හිස මුදුනේ තබා ගෙණ තව්තිසා දෙව්ලොවට ගෙන ගොස් සිළුමිණි සෑයේ තැන්පත් කර පුද සත්කාර කළේය.

අනෙක් දකුණු දළදාවට සිදු වූයේ කුමක් ද?

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇසූ නාග ලෝකයේ ජයසේන නම් නාරජු මහත් වූ දුකට පත්ව "අවසන් වතාවටත් බුදුරජාණන් වහන්සේ දැක බලා ගෙන වන්දනා කරන්නෙමි" සිතා මහත් වූ නාගයින් පිරිවරාගෙන කුසිනාරාවට පැමින මහා පූජා කොට ධාතු බෙදන කල්හි එතැන්ට ගොස් එකත්පස්ව සිට ගෙන සිටියේය.
ධාතු බෙදන අවස්ථාවේ දී ද්‍රෝණ බමුණා අනෙක් දකුණු දළදාව බිම දමා පයින් වසා ගත් අයුරු ජයසේන නාරජු දුටුවේය. දැක ඔහුට නොදැනෙන ලෙස දළදාව  ඍදියෙන් ගෙන නාග භවනට ගෙන ගොස් නාග පුරය මධ්‍යයේ මැණික් සෑයක් තනා දකුණු දළදාව එහි තැන්පත් කර මහත් වූ පුද පූජා පැවැත්වීය.
කාවන්තිස්ස මහ රජතුමා සමයෙහි මහාදේව මහ තෙරුන් ගේ සිසුවෙකු වූ මහින්ද නැමති තෙරණුවෝ නාග භවට ගොස් සර්වඥ දකුණු දළදාව ගෙන ලක්දිවට වැඩම කලහ. ගිරි අභය රජතුමා මහින්ද තෙරුන් සතුව පැවති ඒ දකුණු දළදා වහන්සේ නිධන් කර ස්ථූපයක් කලේය. එය "සෝමාවතී මහ සෑය" නම් වෙයි.
සෝමාවතී මහා සෑ රදුන් 
 මේ ස්ථූපය ඉදිකරන ලද්දේ ක්‍රි.පූ. 2 වැනි සියවසේදීය. මෙයින් පෙනී යන්නේ හේමමාලා කුමරිය හා දන්ත කුමරු සර්වඥ වම් දළදාව ලක් දිවට වැඩම කිරීමටත් ප්‍රථම සර්වඥ දකුණු දළදාව ලක්දිවට වැඩම කරවා ඇති බවයි.
සෝමාවතී මහ සෑයේ වැඩ වසන දකුණු දළදා වහන්සේ බොහෝ ප්‍රාතිහර්‍යයන් සිදු කරන ධාතූන් වහන්සේ නමක් බව බොහෝ දෙනා ගේ පිළිගැනීමයි. අවස්ථා කිහිපයක දී ම ධාතු ස්ථූපයෙන් දීප්තිමත් අලෝක ධාරා විහිදී ඇත. ඇතැම්විට හේවිසි ශබ්ද ඇසී ඇත. සෝමාවතී පුදබිම නොයෙක් අසිරිමත් සිදුවීම් වන මහා පින්බිමක් වශයෙන් බෞද්ධයන් අතර පමණක් නොව අබෞද්ධයන් අතර ද ප්‍රකට ය.

වම් උඩු දළදාවට සිදුවූ යේ කුමක් ද?

ද්‍රෝණ බමුණා ධාතු බෙදන අතර තුර බුදුරජුන් ගේ වම් උඩු දළදාව වස්ත්‍ර අතරේ සගවා ගත්තේය. දළදාව වස්ත්‍රයේ සගවා ගත් අයුරු දුටු පෙර කරන ලද මහා පින් ඇති ගාන්ධාර දේශයෙන් පැමිණි වැසියෙක් කුසල් සිතින් යුතුව එම දළදාව ගෙන ගන්ධාර වැසියන් ද සමගින් තම රටට ගොස් චේතිය නැමති වනයේ වම් උඩු දළදාව තැන්පත් කර පුද සත්කාර පැවැත් වීය.
උතුරු පාකිස්තානයේ හා ඇෆ්ගනිස්තානයේ විශාල කොටසක්
පුරාණ ගන්ධාර දේශයට අයත්ව තිබූ බව සැලකේ. 
 ගන්ධාර දේශයට වැඩම කර වූ සර්වඥයන් වහන්සේගේ වම් උඩු දන්ථ ධාතූන් වහන්සේ මේ වන විට කුමන ස්ථානයක වැඩ සිටිනවා දැයි නිශ්චිතව කිව නොහැක්කේ ඒ පිලිබඳ ව වැඩි විස්තරයක් සදහන් නොවන නිසා වෙනි.

වම් යටි දළදාවට සිදුවූ යේ කුමක් ද?

දම්සෙනෙවි සැරියුත් මහ රහතන් වහන්සේ ගේ සිසුවෙකු වූ ඛේම මහ රහතන් වහන්සේ සර්වඥ චිත්කයේ ගිනි නිවීමටත් පෙර චිතකයෙන් යටි වම් දළදාව ගෙන කාලිංග දේශයට ගොස් එහි රජතුමාට දළදා වහන්සේ භාර දුන්හ. මුලින් ම මිසදිටුවෙකු වූ මේ රජතුමා පසුව මහ තෙරුන් නිසා බුද්ධ සාසනයෙහි පැහැදී බුදු දහම වැලඳ ගෙන මනහර මන්දිරයක් තනා දළදා වහන්සේ එහි තැන්පත් කර ධාතු පූජා පැවැත්වීය. මෙසේ දළදා වහන්සේ වසර අටසියයක කාලයක් කාලිංග දේශයේ රජ දරුවන්ගේ මහා සත්කාර ලබමින් දඹදිව වැඩ සිටියහ. 
පසුව එරට රජ කල ගුහසීව රජතුමා පරසතුරු උවදුරු වලින් දළදා වහන්සේ ආරක්ෂා කර ගනු රිසියෙන් හේමමාලා කුමරියට හා දන්ත කුමරුට දළදා වහන්සේ භාර දී ලක්දිවට යෑමට උපදෙස් දුන්නේය. හේමමාලා කුමරිය බැමිණියක ගේ වෙස් ගෙන දළදා වහන්සේ තම කෙස් කළඹ තුල සගවා ගෙන බමුණු වෙස් ගත් දන්ත කුමරු ද සමගින් නැව් නැගී ලක්දිවට පැමිණියාය. ඔවුන් පැමිණෙන විට ලක්දිව රජකම් කලේ මහසෙන් රජතුමාගේ පුත්‍රයා වූ කිත්සිරිමෙවන් රජතුමාය. (ක්‍රි. ව. 301-328) 
හේමමාලා හා දන්ත කුමරු 
හේමමාලා කුමරිය හා දන්ත කුමරු කිත්සිරිමෙවන් රජුවෙත ගොස් දළදා වහන්සේ රජු වෙත භාර කළහ. රජතුමා මහත් වූ සතුටට පත්ව අගනා කරඬුවක දළදාව තැන්පත් කර දේවානම්පියතිස්ස රජු කර වූ දම්සක්ගෙයි දළදා වහන්සේ සහිත කරඬුව වඩා හිදුවා මහත් වූ පුද සත්කාර පැවැත් වීය. එතැන් සිට සිංහල රජ දරුවන් ගේ අප්‍රමාණ ගෞරවයට හා වන්දනාවට පාත්‍ර වූ දළදා වහන්සේ මේ වන විට මහනුවර ශ්‍රී දළාදා මැදුරේ අගනා කරඬු සතක් තුල වැඩ සිටිති. දළදා වහන්සේ නොයෙක් අවස්ථාවල දි නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්‍යයන් සිදු කර ඇත. 



අනෙකුත් දන්ත ධාතූන්, කේශ ධාතූන් හා ලෝම ධාතූන් ට සිදු වූයේ කුමක් ද? 

මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව බුදු රජුන් ගේ අනෙකුත් දන්ත ධාතූන් ද, කේශ ධාතූන් හා ලෝම ධාතූන් ද නොයෙක් සක්වළින් පැමිණි දේවතාවෝ ගෙන ගොස් ඇත. බුදුරදුන් පිරිනිවීමට පෙර දෙවි මිනිසුන් සහිත ලෝකයාට වැද පුදා ගෙන පින් සිදු කර ගැනීමට මේ ධාතු ශේෂ වීමට අදිටන් කල බව පාළි ධාතු වංශයේ සදහන් වේ. ඊට වඩා වැඩි විස්තරයක් දක්වා නැත.
 ඒත් හියුං සියං හිමියන් ඉන්දියාවේ හා අෆ්ගනිස්ථානයේ ප්‍රදේශ කිහිපයක බුදුරදුන් ගේ දන්ත ධාතූන් වහන්සේලා කිහිප නමක් වැඩ සිටින බව තම දේශාටන වාර්තවේ සදහන් කර තිබේ. 
එහි සදහන් කර ඇති ආකාරයට ඇෆ්ගනිස්ථානයේ බාමියන් දේශයේ එක් විහාරයක බුදුරදුන් ගේ දන්ත ධාතූන් වහන්සේ නමක් හැරුණු විට පසේ බුදු රජාණන් වහන්සේ කෙනෙකුගේ දන්ත ධාතූවක් ද සක්විති රජ කෙනෙකුගේ දන්තයක් ද තැන්පත් කර තිබුනි. ඇෆ්ගනිස්ථාන්යේ කපීෂ දේශයේ එක් විහාරයක සිදුහත් කුමරු ගේ කිරිදතක් තැන්පත් කර තිබුණි. 
ෆාහියන් හිමියන් ඛල්චා දේශයේ වැඩ හිදින දන්ත ධාතුවක් ගැනත් ඇෆ්නනිස්ථානයේ නගරහාර දේශය තුල වැඩ හිදින දන්ත ධාතුවක් ගැනත් තම වාර්තාවේ සදහන් කර ඇත. ඒත් එම ධාතූන් වහන්සේලා එම ප්‍රදේශ වලට ලැබුන ආකාරය ගැන විස්තර සදහන් කර නැත. 
මෙසේ ඉන්දියාවේ ත් ඇෆ්ගනිස්ථානයේත් ප්‍රදේශ කිහිපයක දන්ත ධාතු කිහිප නමක් වැඩ සිටින බව සදහන් කර තිබුණ ත් මේ වන විට එම දන්ත ධාතූන් වහසේලා කුමන ස්ථානයක වැඩ සිටිනවා දැයි කිව නොහැක. 
චීනයේ එක් විහාරයක අගනා කරඬුවක් තුළ බුදුරජාණන් වහන්සේගේ යැයි සැලකෙන දන්ත ධාතුවක් තැන්පත් කර තිබේ. "චීන දළදාවහන්සේ" යැයි ප්‍රකට මේ ධාතුන් වහන්සේ 1961 වසරේ දී ලංකාවට වැඩම කරවා ප්‍රදර්ශනය කර ඇත.  

Wednesday, May 1, 2013

07 අකු ධාතූන් වහන්සේලා


අකු ධාතු දෙනම ද නොවිසිරුනු ධාතු අතරට අයත් වේ. අකු ධාතුව යනුවෙන් හදුන්වන්නේ අකු ඇටයයි. ( Clavicle/Collar bone). පාලි භාෂාවෙන් අකු ඇටයට "අක්ඛකට්ඨි" යනුවෙන් කියනු ලැබේ. සංස්කෘත භාෂාවෙන් "අක්ෂකාස්ථි" යනුවෙන් කියනු ලැබේ. වම් හා දකුණු ලෙස අකු ඇට දෙකකි. 
ස්ර්ව්ඥ අකු ධාතු දෙනම ගෙන් දකුණු අකු ධාතූන් වහන්සේ මුලින්ම වැඩ සිටියේ තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑයේය. පසුව මිහිදු මහ රහතන් වහන්සේ ගේ උපදෙස් පරිදි සුමන සාමණේරයන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කොට සක් රජුගෙන් දකුණු අකු ධාතුව ලබා ගෙන ලක් දිවට පැමිණියහ. 

ථූපාරාම සෑ රදුන් ගේ පැරණි චයා රූපයක් 

දේවානම්පියතිස්ස මහ රජු ස්ර්වඥ දකුණු අකු ධාතුව නිධන් කර අනුරාධපුරයේ ස්ථූපයක් කලේය. මේ ස්ථූපය "ථූපාරාම මහා සෑය" ලෙස හදුන්වනු ලැබේ. ලක්දිවට බුදු දහම වැඩම කරවීමෙන් පසුව ඉදි වූ මුල්ම ස්ථූපය මෙයයි. බුදුරදුන් තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී දැන් මේ ථූපාරාමය පිහිටා ඇති ස්ථානයේ ද පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ. 

( එපමණක් නොව මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වූ කකුසඳ බුදුරජුන් ගේ ඩබරා ධාතුව ද කෝණාගමන බුදුරජුන් ගේ පටී ධාතුව ද කාෂ්‍යප බුදුරජුන් ගේ ජලසාටිකා ධාතුව ද තැන් පත් කර තිබුනේ දැන් මේ ථූපාරාම මහ සෑ පිහිටා ඇති ස්ථානයේම ය. ) 


වර්ථමාන ථූපාරාම සෑ රදුන් 

දකුණු අකු ධාතුන් වහන්සේ ථූපාරාම මහ සෑයේ පිහිටුවන දිනයෙහි බුදුරදුන් ගේ අදිටනකට අනුව ධාතූන් වහන්සේ අහසට පැන නැගී යමා මහ පෙළහර දක්වා ඇත. 
දෙවැනි අග්බෝ රජු සමයේ දී ථූපාරාම සෑයේ කොටසක් කඩා වැටීම නිසා දකුණු අකු ධාතූන් වහන්සේ ඉන් පිටතට වැඩම කිරීමට සිදු විය. මේ බව චූල වංශයේ දැක්වේ. එම කතා පුවත මෙසේ යි. 
දිනක් ජෝතිපාල තෙරුන් වහන්සේ ථූපාරාම මහා සෑය වන්දනා කරන කල්හි සෑයෙන් භාගයක් කඩාගෙන වැටුණි. මෙයින් දුකට පත් ජෝතිපාල තෙරුන් රජතුමා කැදවා එය පෙන්වීය. රජු කඩා වැටී ඇති සෑය දැක බියට පත්ව දකුණු අකු ධාතූන් වහන්සේ පිටතට වැඩම කරවා ලෝවාමහාපායේ සුරක්ෂිතව තැන්පත් කර සෑය පිලිසකර කර වීමට කටයුතු යෙදුවේය. ඒත් ඒ කටයුතු පමා විය. 
එකල්හි ථූපාරාමයේ දෙවතාවෝ ආරාමිකයන් මෙන් රජුට සිහිනන් පෙනී "සෑය තැනීමට තවත් පමා වෙනවා නම් අපි ධාතූන් වහන් සේ ගෙන වෙනත් තැනකට යමු" යි කීහ. මෙයින් බියට පත් වූ අග්බෝ රජු වහ වහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු කරවා ලෝවාමහාපායේ වැඩ සිටි සර්වඥ දකුණු අකු ධාතුව ගෙණ ථූපාරාම සෑයේ තැන්පත් කර එහි සියලු වැඩ කටයුතු අවසන් කරවා මහා පූජාවක් කලේය. 
මෙසේ ගෞතම බුදුරජුන් ගේ දකුණු අකු ධාතූන් වහන්සේ ලක් දිව ථූපාරාම මහ සෑයේ වැඩ සිටිති. එසේ නම් වම් අකු ධාතූන් වහන්සේ වැඩ සිටින්නේ කොහි ද? 
බුද්ධවංශ පාළියේ ධාතු භජනීය කතාවේ සදහන් ගාථාවන් ට අනුව ස්ර්වඥ වම් අකු ධාතූන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ වැඩ සිටින බව දක්වා තිබුණත් එයට වඩා වැඩි විස්තරයක් දක්වා නැත. 
  

15. සිරිපා සටහන්

භාග්‍යවතුන් වහන්සේ ගේ පාදයේ පිහිටි මහා පුරුෂ ලක්ෂණ  අ ප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ පා සටහනට "සිරිපා සටහන" ය...