Tuesday, May 7, 2013

09 ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ


කොඳු ඇට පෙලේ ඉහලින්ම් ඇති අස්ථි සත " ග්‍රෙවී කශේරුකා " නම් වෙයි. මේවා සත එකට ගෙන ග්‍රීවාස්ථිය ලෙස ද හදුන්වයි.



බුද්ධ ශරීරය ආදාහනය කරණ කල්හි දම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් ගේ සිසුවෙකු වූ " සරභූ " නම් මහත් ඍදි ඇති තෙරහු දැවෙන චිත්කයෙන් සූවාසූ දහසක් ධර්මස්කන්දය ස්පර්ශ කලා වූ ස්ඵටික මාණික්‍යමය මෘදංග භේරියක් (මිහිඟු බෙරයක්) වැනි වූ සර්වඥ ග්‍රීවාස්ථි ධාතුව ගෙණ අහසට පැන නැගී පන්සියයක් භික්ෂූන් ද සමගින් ලක්දිව මහියංගනයට වැඩම කළහ. 
මහියංගන මහා සෑය - බුදුරජුන් පලමු වරට ලක්දිවට වැඩම කල අවස්තාවේ දී යක්ෂයින්
දමනය කර දෙවියන්ට දහම් දෙසුවේ මේ ස්ථානයේ දී ය. 
වැඩම කර සුමන සමන් දෙව් රජු බුදුන් වහන්සේගේ කේශ ධාතු නිදන් කර සත්‍ රියන් උසට කර තිබූ ඒ ඉන්ද්‍රනීල මාණික්‍යමය ස්තූපයෙහි සර්වඥ ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ තබා සීවලී සහ සුමන යන මහා ඍදි ඇති සාමණේරයන් වහන්සේලා දෙනම ලවා නාලොවින් ගෙන්වා ගත් මේද වර්ණ පාෂාණයෙන් සෑය වසා දොලොස් රියන් උසට ස්තූපය කරවා කුසිනාරා නුවරට ම වැඩම කලහ. 
පසු කලෙක දේවානම්පියතිස්ස මහ රජු ගේ සොහොයුරෙකු වූ උද්ධචූළාභය කුමරු මහත් ආනුභවය ඇති ඒ සෑය දැක එය වසා තිස් රියන් උසට ස්ථූපයක් කර වීය. පසුව දුටු ගැමුණු මහ රජතුමා තිස් රියන් උස ඒ සෑය වසා අසූ රියන් උසට මහ සෑයක් කරවීය. 

Friday, May 3, 2013

08 දාඨා ධාතූන් වහන්සේලා


සතර දළදාවන් ද නොවිසිරුනු ධාතූන් අතරට අයත් වේ. "දළදා" යනුවෙන් හදුන් වන්නේ "රදනක" (Canine) නම් වූ දත් විශේෂයයි.  
රදනක දත් සතරකි. පාලි භාෂාවෙන් රදනක දත් වලට "දාඨා" යැයි කියනු ලැබේ. මේ දත් සතර අනෙක් දත් වලට වඩා මදක් උල් ය.
දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේට දත් සතළිසක් විය. උඩු ඇන්දේ දත් විස්සකි. යටි ඇන්දේ දත් විස්සකි. ඒ දත් අතර සිදුරු, හිඩැස් නොවීය. එසේම දත් උස නොවීය, කෙටි නොවීය, ඇල නොවීය. සියලු දත් මුතු ඇට පෙලක් මෙන් සමව පිහිටා තිබුණි. දළදා සතර අනෙක් දත් වලට වඩා ඉතා සුදු පැහයෙන් යුක්ත විය.
සතර දළදවන් ගෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදේ. ඒවාට "දාඨා ප්‍රභා" යයි කියනු ලැබේ. සතර දළදාවන් හොදින් දැක ගැනීමට ලැබෙන්නේ ස්ර්වඥයන් වහන්සේ සිනහ පහළ කරන අවස්ථාවන්හි දී පමණි.

ද්‍රෝණ බමුණා විසින් ධාතු බෙදන අවස්තාවේ දී සගවා ගත් දළදාවන් තුන් නමට සිදුවූයේ කුමක්ද?

ධාතු බෙදන අවස්තාවේ දී දෙදෙවු ලොවට අධිපති සක්‍ දෙවු රජු බුදුරජුන්ගේ දකුණු දළදාව නොදැක "සර්වඥයන් වහන්සේගේ දකුණු දළදාව කවරෙකු විසින් ගනු ලැබුවා දැ?" යි කියා දිවැසින් බලන කල්හි ධාතු බෙදන ද්‍රෝණ බමුණා විසින් ම ගෙන ජටාව තුල සගවා ගෙන සිටින බව දැක "මොහුට මේ ධාතූන් වහන්සේට පුද සත්කාර කිරීමට හැකියාවක් තිබෙන්නේ දැ?" යි කියා බලන ලදි. එහිදී එය නොහැකි බව දැන "මොහු ගෙන් ධාතූන් වහන්සේ ගනිමි" යි සිතා ඉතා සියුම් අතක් මවා ඔහුට නොදැනෙන ලෙස ධාතූන් වහන්සේ ගෙන රන් කරඬුවක තැන්පත් කර හිස මුදුනේ තබා ගෙණ තව්තිසා දෙව්ලොවට ගෙන ගොස් සිළුමිණි සෑයේ තැන්පත් කර පුද සත්කාර කළේය.

අනෙක් දකුණු දළදාවට සිදු වූයේ කුමක් ද?

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇසූ නාග ලෝකයේ ජයසේන නම් නාරජු මහත් වූ දුකට පත්ව "අවසන් වතාවටත් බුදුරජාණන් වහන්සේ දැක බලා ගෙන වන්දනා කරන්නෙමි" සිතා මහත් වූ නාගයින් පිරිවරාගෙන කුසිනාරාවට පැමින මහා පූජා කොට ධාතු බෙදන කල්හි එතැන්ට ගොස් එකත්පස්ව සිට ගෙන සිටියේය.
ධාතු බෙදන අවස්ථාවේ දී ද්‍රෝණ බමුණා අනෙක් දකුණු දළදාව බිම දමා පයින් වසා ගත් අයුරු ජයසේන නාරජු දුටුවේය. දැක ඔහුට නොදැනෙන ලෙස දළදාව  ඍදියෙන් ගෙන නාග භවනට ගෙන ගොස් නාග පුරය මධ්‍යයේ මැණික් සෑයක් තනා දකුණු දළදාව එහි තැන්පත් කර මහත් වූ පුද පූජා පැවැත්වීය.
කාවන්තිස්ස මහ රජතුමා සමයෙහි මහාදේව මහ තෙරුන් ගේ සිසුවෙකු වූ මහින්ද නැමති තෙරණුවෝ නාග භවට ගොස් සර්වඥ දකුණු දළදාව ගෙන ලක්දිවට වැඩම කලහ. ගිරි අභය රජතුමා මහින්ද තෙරුන් සතුව පැවති ඒ දකුණු දළදා වහන්සේ නිධන් කර ස්ථූපයක් කලේය. එය "සෝමාවතී මහ සෑය" නම් වෙයි.
සෝමාවතී මහා සෑ රදුන් 
 මේ ස්ථූපය ඉදිකරන ලද්දේ ක්‍රි.පූ. 2 වැනි සියවසේදීය. මෙයින් පෙනී යන්නේ හේමමාලා කුමරිය හා දන්ත කුමරු සර්වඥ වම් දළදාව ලක් දිවට වැඩම කිරීමටත් ප්‍රථම සර්වඥ දකුණු දළදාව ලක්දිවට වැඩම කරවා ඇති බවයි.
සෝමාවතී මහ සෑයේ වැඩ වසන දකුණු දළදා වහන්සේ බොහෝ ප්‍රාතිහර්‍යයන් සිදු කරන ධාතූන් වහන්සේ නමක් බව බොහෝ දෙනා ගේ පිළිගැනීමයි. අවස්ථා කිහිපයක දී ම ධාතු ස්ථූපයෙන් දීප්තිමත් අලෝක ධාරා විහිදී ඇත. ඇතැම්විට හේවිසි ශබ්ද ඇසී ඇත. සෝමාවතී පුදබිම නොයෙක් අසිරිමත් සිදුවීම් වන මහා පින්බිමක් වශයෙන් බෞද්ධයන් අතර පමණක් නොව අබෞද්ධයන් අතර ද ප්‍රකට ය.

වම් උඩු දළදාවට සිදුවූ යේ කුමක් ද?

ද්‍රෝණ බමුණා ධාතු බෙදන අතර තුර බුදුරජුන් ගේ වම් උඩු දළදාව වස්ත්‍ර අතරේ සගවා ගත්තේය. දළදාව වස්ත්‍රයේ සගවා ගත් අයුරු දුටු පෙර කරන ලද මහා පින් ඇති ගාන්ධාර දේශයෙන් පැමිණි වැසියෙක් කුසල් සිතින් යුතුව එම දළදාව ගෙන ගන්ධාර වැසියන් ද සමගින් තම රටට ගොස් චේතිය නැමති වනයේ වම් උඩු දළදාව තැන්පත් කර පුද සත්කාර පැවැත් වීය.
උතුරු පාකිස්තානයේ හා ඇෆ්ගනිස්තානයේ විශාල කොටසක්
පුරාණ ගන්ධාර දේශයට අයත්ව තිබූ බව සැලකේ. 
 ගන්ධාර දේශයට වැඩම කර වූ සර්වඥයන් වහන්සේගේ වම් උඩු දන්ථ ධාතූන් වහන්සේ මේ වන විට කුමන ස්ථානයක වැඩ සිටිනවා දැයි නිශ්චිතව කිව නොහැක්කේ ඒ පිලිබඳ ව වැඩි විස්තරයක් සදහන් නොවන නිසා වෙනි.

වම් යටි දළදාවට සිදුවූ යේ කුමක් ද?

දම්සෙනෙවි සැරියුත් මහ රහතන් වහන්සේ ගේ සිසුවෙකු වූ ඛේම මහ රහතන් වහන්සේ සර්වඥ චිත්කයේ ගිනි නිවීමටත් පෙර චිතකයෙන් යටි වම් දළදාව ගෙන කාලිංග දේශයට ගොස් එහි රජතුමාට දළදා වහන්සේ භාර දුන්හ. මුලින් ම මිසදිටුවෙකු වූ මේ රජතුමා පසුව මහ තෙරුන් නිසා බුද්ධ සාසනයෙහි පැහැදී බුදු දහම වැලඳ ගෙන මනහර මන්දිරයක් තනා දළදා වහන්සේ එහි තැන්පත් කර ධාතු පූජා පැවැත්වීය. මෙසේ දළදා වහන්සේ වසර අටසියයක කාලයක් කාලිංග දේශයේ රජ දරුවන්ගේ මහා සත්කාර ලබමින් දඹදිව වැඩ සිටියහ. 
පසුව එරට රජ කල ගුහසීව රජතුමා පරසතුරු උවදුරු වලින් දළදා වහන්සේ ආරක්ෂා කර ගනු රිසියෙන් හේමමාලා කුමරියට හා දන්ත කුමරුට දළදා වහන්සේ භාර දී ලක්දිවට යෑමට උපදෙස් දුන්නේය. හේමමාලා කුමරිය බැමිණියක ගේ වෙස් ගෙන දළදා වහන්සේ තම කෙස් කළඹ තුල සගවා ගෙන බමුණු වෙස් ගත් දන්ත කුමරු ද සමගින් නැව් නැගී ලක්දිවට පැමිණියාය. ඔවුන් පැමිණෙන විට ලක්දිව රජකම් කලේ මහසෙන් රජතුමාගේ පුත්‍රයා වූ කිත්සිරිමෙවන් රජතුමාය. (ක්‍රි. ව. 301-328) 
හේමමාලා හා දන්ත කුමරු 
හේමමාලා කුමරිය හා දන්ත කුමරු කිත්සිරිමෙවන් රජුවෙත ගොස් දළදා වහන්සේ රජු වෙත භාර කළහ. රජතුමා මහත් වූ සතුටට පත්ව අගනා කරඬුවක දළදාව තැන්පත් කර දේවානම්පියතිස්ස රජු කර වූ දම්සක්ගෙයි දළදා වහන්සේ සහිත කරඬුව වඩා හිදුවා මහත් වූ පුද සත්කාර පැවැත් වීය. එතැන් සිට සිංහල රජ දරුවන් ගේ අප්‍රමාණ ගෞරවයට හා වන්දනාවට පාත්‍ර වූ දළදා වහන්සේ මේ වන විට මහනුවර ශ්‍රී දළාදා මැදුරේ අගනා කරඬු සතක් තුල වැඩ සිටිති. දළදා වහන්සේ නොයෙක් අවස්ථාවල දි නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්‍යයන් සිදු කර ඇත. 



අනෙකුත් දන්ත ධාතූන්, කේශ ධාතූන් හා ලෝම ධාතූන් ට සිදු වූයේ කුමක් ද? 

මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව බුදු රජුන් ගේ අනෙකුත් දන්ත ධාතූන් ද, කේශ ධාතූන් හා ලෝම ධාතූන් ද නොයෙක් සක්වළින් පැමිණි දේවතාවෝ ගෙන ගොස් ඇත. බුදුරදුන් පිරිනිවීමට පෙර දෙවි මිනිසුන් සහිත ලෝකයාට වැද පුදා ගෙන පින් සිදු කර ගැනීමට මේ ධාතු ශේෂ වීමට අදිටන් කල බව පාළි ධාතු වංශයේ සදහන් වේ. ඊට වඩා වැඩි විස්තරයක් දක්වා නැත.
 ඒත් හියුං සියං හිමියන් ඉන්දියාවේ හා අෆ්ගනිස්ථානයේ ප්‍රදේශ කිහිපයක බුදුරදුන් ගේ දන්ත ධාතූන් වහන්සේලා කිහිප නමක් වැඩ සිටින බව තම දේශාටන වාර්තවේ සදහන් කර තිබේ. 
එහි සදහන් කර ඇති ආකාරයට ඇෆ්ගනිස්ථානයේ බාමියන් දේශයේ එක් විහාරයක බුදුරදුන් ගේ දන්ත ධාතූන් වහන්සේ නමක් හැරුණු විට පසේ බුදු රජාණන් වහන්සේ කෙනෙකුගේ දන්ත ධාතූවක් ද සක්විති රජ කෙනෙකුගේ දන්තයක් ද තැන්පත් කර තිබුනි. ඇෆ්ගනිස්ථාන්යේ කපීෂ දේශයේ එක් විහාරයක සිදුහත් කුමරු ගේ කිරිදතක් තැන්පත් කර තිබුණි. 
ෆාහියන් හිමියන් ඛල්චා දේශයේ වැඩ හිදින දන්ත ධාතුවක් ගැනත් ඇෆ්නනිස්ථානයේ නගරහාර දේශය තුල වැඩ හිදින දන්ත ධාතුවක් ගැනත් තම වාර්තාවේ සදහන් කර ඇත. ඒත් එම ධාතූන් වහන්සේලා එම ප්‍රදේශ වලට ලැබුන ආකාරය ගැන විස්තර සදහන් කර නැත. 
මෙසේ ඉන්දියාවේ ත් ඇෆ්ගනිස්ථානයේත් ප්‍රදේශ කිහිපයක දන්ත ධාතු කිහිප නමක් වැඩ සිටින බව සදහන් කර තිබුණ ත් මේ වන විට එම දන්ත ධාතූන් වහසේලා කුමන ස්ථානයක වැඩ සිටිනවා දැයි කිව නොහැක. 
චීනයේ එක් විහාරයක අගනා කරඬුවක් තුළ බුදුරජාණන් වහන්සේගේ යැයි සැලකෙන දන්ත ධාතුවක් තැන්පත් කර තිබේ. "චීන දළදාවහන්සේ" යැයි ප්‍රකට මේ ධාතුන් වහන්සේ 1961 වසරේ දී ලංකාවට වැඩම කරවා ප්‍රදර්ශනය කර ඇත.  

Wednesday, May 1, 2013

07 අකු ධාතූන් වහන්සේලා


අකු ධාතු දෙනම ද නොවිසිරුනු ධාතු අතරට අයත් වේ. අකු ධාතුව යනුවෙන් හදුන්වන්නේ අකු ඇටයයි. ( Clavicle/Collar bone). පාලි භාෂාවෙන් අකු ඇටයට "අක්ඛකට්ඨි" යනුවෙන් කියනු ලැබේ. සංස්කෘත භාෂාවෙන් "අක්ෂකාස්ථි" යනුවෙන් කියනු ලැබේ. වම් හා දකුණු ලෙස අකු ඇට දෙකකි. 
ස්ර්ව්ඥ අකු ධාතු දෙනම ගෙන් දකුණු අකු ධාතූන් වහන්සේ මුලින්ම වැඩ සිටියේ තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑයේය. පසුව මිහිදු මහ රහතන් වහන්සේ ගේ උපදෙස් පරිදි සුමන සාමණේරයන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කොට සක් රජුගෙන් දකුණු අකු ධාතුව ලබා ගෙන ලක් දිවට පැමිණියහ. 

ථූපාරාම සෑ රදුන් ගේ පැරණි චයා රූපයක් 

දේවානම්පියතිස්ස මහ රජු ස්ර්වඥ දකුණු අකු ධාතුව නිධන් කර අනුරාධපුරයේ ස්ථූපයක් කලේය. මේ ස්ථූපය "ථූපාරාම මහා සෑය" ලෙස හදුන්වනු ලැබේ. ලක්දිවට බුදු දහම වැඩම කරවීමෙන් පසුව ඉදි වූ මුල්ම ස්ථූපය මෙයයි. බුදුරදුන් තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී දැන් මේ ථූපාරාමය පිහිටා ඇති ස්ථානයේ ද පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ. 

( එපමණක් නොව මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වූ කකුසඳ බුදුරජුන් ගේ ඩබරා ධාතුව ද කෝණාගමන බුදුරජුන් ගේ පටී ධාතුව ද කාෂ්‍යප බුදුරජුන් ගේ ජලසාටිකා ධාතුව ද තැන් පත් කර තිබුනේ දැන් මේ ථූපාරාම මහ සෑ පිහිටා ඇති ස්ථානයේම ය. ) 


වර්ථමාන ථූපාරාම සෑ රදුන් 

දකුණු අකු ධාතුන් වහන්සේ ථූපාරාම මහ සෑයේ පිහිටුවන දිනයෙහි බුදුරදුන් ගේ අදිටනකට අනුව ධාතූන් වහන්සේ අහසට පැන නැගී යමා මහ පෙළහර දක්වා ඇත. 
දෙවැනි අග්බෝ රජු සමයේ දී ථූපාරාම සෑයේ කොටසක් කඩා වැටීම නිසා දකුණු අකු ධාතූන් වහන්සේ ඉන් පිටතට වැඩම කිරීමට සිදු විය. මේ බව චූල වංශයේ දැක්වේ. එම කතා පුවත මෙසේ යි. 
දිනක් ජෝතිපාල තෙරුන් වහන්සේ ථූපාරාම මහා සෑය වන්දනා කරන කල්හි සෑයෙන් භාගයක් කඩාගෙන වැටුණි. මෙයින් දුකට පත් ජෝතිපාල තෙරුන් රජතුමා කැදවා එය පෙන්වීය. රජු කඩා වැටී ඇති සෑය දැක බියට පත්ව දකුණු අකු ධාතූන් වහන්සේ පිටතට වැඩම කරවා ලෝවාමහාපායේ සුරක්ෂිතව තැන්පත් කර සෑය පිලිසකර කර වීමට කටයුතු යෙදුවේය. ඒත් ඒ කටයුතු පමා විය. 
එකල්හි ථූපාරාමයේ දෙවතාවෝ ආරාමිකයන් මෙන් රජුට සිහිනන් පෙනී "සෑය තැනීමට තවත් පමා වෙනවා නම් අපි ධාතූන් වහන් සේ ගෙන වෙනත් තැනකට යමු" යි කීහ. මෙයින් බියට පත් වූ අග්බෝ රජු වහ වහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු කරවා ලෝවාමහාපායේ වැඩ සිටි සර්වඥ දකුණු අකු ධාතුව ගෙණ ථූපාරාම සෑයේ තැන්පත් කර එහි සියලු වැඩ කටයුතු අවසන් කරවා මහා පූජාවක් කලේය. 
මෙසේ ගෞතම බුදුරජුන් ගේ දකුණු අකු ධාතූන් වහන්සේ ලක් දිව ථූපාරාම මහ සෑයේ වැඩ සිටිති. එසේ නම් වම් අකු ධාතූන් වහන්සේ වැඩ සිටින්නේ කොහි ද? 
බුද්ධවංශ පාළියේ ධාතු භජනීය කතාවේ සදහන් ගාථාවන් ට අනුව ස්ර්වඥ වම් අකු ධාතූන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ වැඩ සිටින බව දක්වා තිබුණත් එයට වඩා වැඩි විස්තරයක් දක්වා නැත. 
  

Monday, April 29, 2013

06 ලලාට ධාතූන් වහන්සේ



නොවිසිරුණු ධාතු අතරින් ලලාට ධාතුවට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. ලලාට ධාතුව යනුවෙන් හදුන්වන්නේ නලල් ඇටය යි. (Frontal Bone)  පාලි භාෂාවෙන් මෙයට " උණ්හීස " යනුවෙන් කියනු ලැබේ. මෙය තරමක් විශාල අස්ථියකි. 
සර්වඥයන් වහන්සේට පිරිපුන් නලල් තලයක් ද පිරිපුන් ශීර්ෂයක් ද වූ බව දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ දැක් වේ. එය මහා පුරුෂ ලක්ෂණයකි. එය හදුන්වන්නේ " උෂ්ණීෂ ශීර්ෂ ලක්ෂණය " යනුවෙනි. 


" මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්න "

ධාතු බෙදී මේ දී සර්වඥ ලලාට ධාතුව මල්ල රජ දරුවන් ගේ ධාතු කොටසට අයත් විය. බුදු රජාණන් වහන්සේ ජීවමාන සමයෙහි " මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්නැ " යි කියා අනුදැන තිබුණි.   මේ බව හොදින් දැනගෙන හිටි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මල්ල රජ දරුවන් වෙත එළැබ " රජ දරුවනි, අප බුදු රජුන් වැඩ සිටි සමයෙහි ම ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන ලෙසට අනුදැන තිබුනි. එබැවින් ධාතූන් වහන්සේලා අපට දෙන්නැ " යි කී සේක. මෙය ඇසූ මල්ල රජ දරුවෝ " ස්වාමිනී, එසේනම් ගනු මැනවැ " යි කියා ධාතූන් වහන්සේ මහ තෙරුන්ට භාර දුන්හ. 
එකල්හි මහා කාශ්‍යප මහ තෙරණුවෝ තමන් වහන්සේ ගේ සද්ධිවිහාරික වූ මහා නන්ද තෙරුන් කැදවා " නන්දයෙනි, අනාගතෙයේ දී මේ ලලාට ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයෙහි මහවැලි ගඟ දකුණු තෙර සේරු නම් විල් තෙර වරාහසොණ්ඩ් නම් වූ තැන පිහිටුවා කාවන්තිස්ස නම් වූ රජතුමා මහා දාගැබක් බැද සංඝාරාමයක් ද කරවන්නේය. ඔබ මේ ධාතූන් වහන්සේලා ගෙන විශාලා මහ නුවර මහ වනයෙහි කූටාගාර ශාලාවෙහි අප බුදුන් වැඩ සිටි ගඳකිළියෙහි තැන්පත් කර මලින් ගඳින් පුද සත්කාර පවත්වන්නැ " යි කියා ධාතූන් වහන්සේ භාර දුන් සේක. 
මහා නන්ද තෙරණුවෝ මහා කාශ්‍යප මහ තෙරුන්ට වැඳ ධාතූන් වහන්සේ පිලිගෙන අහසට පැන නැගී විශාලා මහ නුවර මහ වනයේ කූටාගාර ශාලාවෙහි බුදුරදුන් වැඩ සිටි ගඳකිළියට වැඩ ලලාට ධාතූන් වහන්සේ එහි තැන්පත් කර නොයෙක් ආකාරයෙන් පුද සත්කාර පැවැත්වූහ. 
මෙසේ මහ රහත් පරපුරෙන් පරපුරට මහා සත්කාර ලබමින් ආරක්ෂා වූ ලලාට ධාතූන් වහන්සේ පසු කලෙක මහාදේව මහ තෙරුන් වහන්සේ ලක්දිවට වැඩම කර වූහ. ඒ සමයෙහි ලක්දිව මාගම රාජ්‍ය කලේ මහා නාග රජු ය. මහා නාග රජු ධාතූන් වහන්සේ උදෙසා මනරම් මන්දිරයක් තනා ධාතූන් වහන්සේ එහි තැන්පත් කර නිරන්තරයෙන් ම ධාතු පූජා පැවැත්වීය. 
ඉන් පසුව රජ වූ යටාලතිස්ස රජු ද ගෝඨාභය රජු ද ධාතු පූජා පැවැත් විය. ගෝඨාභය රජු ගෙන් පසුව රජ වූයේ කාවන්තිස්ස රජුය. කාවන්තිස්ස මහ රජතුමා ජීවමාන බුදුරජාණන් වහන්සේ ගේ ශරීරයේ ප්‍රමාණයට සත් රුවනින් බුද්ධ ප්‍රතිමාවක් තනවා ලලාට ධාතුව එම බුද්ධ ප්‍රතිමා වේ නලල් තලයෙහි තැම්පත් කළේය. තැන්පත් කර සිව තෙරුන් නාලොවෙන් වැඩම කර වූ කේශ ධාතූන් වහන්සේලා විහාරමහා දේවිය ලවා බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂයෙහි තැන්පත් කරවා එම බුද්ධ ප්‍රතිමාව නිධන් කොට සේරුවිල මංගල මහා සෑය තැනුවේය.

සේරුවිල මංගල මහා සෑය 


එතැන් පටන් ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ඉතා දුර්ලබ වූ ලලාට ධාතූන් වහන්සේ දෙවිමිනිසුන් සහිත ලෝකයා ගේ වන්දනා ලබමින් මේ දක්වා නැගෙනහිර පළාතේ සේරුවිල මංගල මහා සෑයේ වැඩ සිටිති. මේ මහා ධාතු ස්ථූපයෙන් අවස්ථා කිහිපයක දී නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්‍යන් සිදු වී ඇත. 
බුදුරදුන් තෙවැනි වරට ලක් දිවට වැඩම කල අවස්ථාවේ දී පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් සේරුවිලට ද වැඩම කර මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ. ලලාට ධාතූන් වහන්සේ සහ කේශ ධාතූන් වහන්සේලා තැම්පත් කර මංගල මහා සෑය තනා ඇත්තේ බුදුරජුන් පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටි ඒ ස්ථානයේය.   

Sunday, April 28, 2013

05 ධාතූන් වහන්සේලා වර්ගීකරනය


ප ගාග්‍යවත් අරහත් ගෞතම සම්ම සම්බුදු රජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා මෙසේ බෙදා දැක්විය හැක. 


ශාරීරික ධාතූන් වහන්සේලා
බුදු රදුන්ගේ ශ්‍රී ශරීරයේ කෙස්, දත්, අස්ථි ආදී කොටස් ය. 
ලලාට ධාතූන් වහන්සේ
අකු ධාතූන් වහන්සේලා දෙනම
ධාඨා ධාතූන් වන්සේලා සතර නම (සතර දළදාවන්)
ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ
කේශ ධාතූන් වහන්සේලා
නඛ ධාතූන් වහන්සේලා
ඌර්ණ රෝම ධාතූන් වහන්සේ
භින්න ධාතූන් වහන්සේලා


පාරිභෝගික ධාතූන් වහන්සේලා
බුදුරජාණන් වහන්සේ විසින් පාරිභෝග කළ වස්තූන් මෙයට ම අයත් වේ. 
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ

සිරිපා සටහන්
පටී ධාතූන් වහන්සේ
ජලසාටිකා ධාතූන් වහන්සේ
පාත්‍රා ධාතූන් වහන්සේ

උද්දේසික ධාතූන් වහන්සේලා
බුදු රජාණන් වහන්සේ උදෙසා කරන ලද්දා වූ බුද්ධ ප්‍රතිමාදියයි.


මෙම Blog අඩවියේ විස්තර කරනු ලබන්නේ ශාරීරික ධාතු හා පාරිභෝගික ධාතු පිළිබදව මූලික කරුණු ස්වල්පයකි.  

Saturday, April 27, 2013

04 ද්‍රෝණ බමුණා මැදිහත් වී ගැටුම නිරාකරනය කරයි



ඒ සමයෙහි මේ සැම දෙනා ගේ ම ආචාර්‍යවරයා වූ ද්‍රෝණ නැමති පණ්ඩිත බමුණා ''මේ රජ දරුවෝ සියලු දෙනා ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ තැන වාද විවාද කර ගනිති. සියලු සතුන් කෙරෙහි මහා කරුණාව දැක් වූ සියලු සතුන්ට පිහිට වූ සම්මා සම්බුදුරජුන් පිරිනිවන් පෑ තැන වාද විවාද කර ගැනීම කිසිලෙසකින් වත් සුදුසු නැත.  තව පමා වුව හොත් සිදු වන්නේ මහ විනාශයකි. එබැවින් වහා ම මෙය සංසිදවිය යුතු ය"යි සිතා උස් ස්ථානයකට ගොස් බණවර දෙකක් තරම් දිගු "ද්‍රෝණගර්ජනා" නම් වූ දේශනාවක් කළේය.
එහි පළමු බණවරේ එක පදයක් වත් කිසිවෙකුට නොඇසුනි. දෙවැනි බණවර අවසානයේ දී සියල්ලෝ ම "පින්වත්නි, අර අපේ ආචාර්‍යයන් වහන්සේ ගේ කටහඩ ය" යි කියා නිහඩ වූහ.
 එකල්හි ද්‍රෝණ බමුණා ඉදිරියට පැමිණ "පින්වත්නි, අප බුදුන් ක්ෂාන්තිවාදී ය. ක්ෂාන්තියෙහි අනුසස් ම ලොවට දේශනා කළ සේක. එබදු උතුමන් වහන්සේ නමක ගේ ශාරීරික ධාතු උදෙසා මෙසේ අවි ආයුද ගෙන යුධ වැදීමක් වන්නේ නම් එය හොද නැත. පින්වත්නි, එබැවින් අපි එකමුතු වී සතුටු වූ සිතින් යුතුව සර්වඟයන් වහන්සේ ගේ ශරීරික ධාතු සම සේ කොටස් අටකට බෙදමු" යි කීය. "බමුණුතුමනි, එසේ නම් ඔබම ධාතු සම සේ කොටස් අටකට බෙදන්නැ" යි රජ දරුවෝ කීහ.


ද්‍රෝණ බමුණා ධාතූන් වහන්සේලා සමසේ කොටස් අටකට බෙදයි 
එකල්හි ද්‍රෝණ බමුණා රන් දෙණ අසලට ගොස් දෙණ විවෘත කළේය. රජ දරුවෝ දෙණ අසලට පැමින එබී බලා ඒ තුළ ශේෂ වී තිබූ අස්ථි ධාතු දැක මහත් වූ දුකක ට පැමින "ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, පෙර අපි දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන් ගෙන් බබළන රන් කදක් වැනි ඔබ වහන්සේ ගේ ශ්‍රී ශරීරය දුටුවෙමු. එහෙත් දැන් රන්වන් වූ ධාතූන් පමනක් ඉතිරි විය. ස්වාමිනි, මෙය ඔබ වහන්සේට තරම් නොවේ ය" යි කියා බැගෑපත් ලෙසින් හඩා වැලපෙන්නට පටන් ගත්හ.
රජ දරුවන් ගේ මේ ප්‍රමාදය දුටු ද්‍රෝණ බමුණා සර්වඟඳ දකුනු දළදා දෙනම ගෙන් එක් දළදාවක් ගෙණ තම ජටාව තුල සගවා ගත්තේය. අනෙක් දළදා ව බිම දමා පයින් වසා ගත්තේය. වම් උඩු දළදා ව ගෙන වස්ත්‍ර අතරේ සගවා ගත්හ.
පසුව ඔහු රන් නැලියක් ගෙන ධාතු සමසේ කොටස් අටකට බෙදුවේය. බෙදා ඉන් එක් කොටසක් 

  • මගධාදිපති අජාසත්ත මහ රජුට ත් එක් කොටසක් 
  • විශාලා මහ නුවර ලිච්චවී රජ දරුවන්ටත් එක කොටසක් 
  • කිඹුල්වත් නුවර ශාක්‍යයින්ට ත් එක් කොටසක් 
  • අල්ලකප්ප රට බුලී රජුන්ට ත් එක් කොටසක් 
  • රාම ග්‍රාම යේ කෝලිය රජ දරුවන්ට ත් එක් කොටසක් 
  • වේඨදීප නගරාධිපති බ්‍රාහ්මණයාට ත් එක් කොටසක් 
  • පාවා නුවර වැසි මල්ල රජ දරුවන්ට ත් අනෙක් ධාතු කොටස
  • කුසිනාරා වැසි මල්ල රජ දරුවන්ට ත් ලබා දුන්නේය. 

පසුව ඒ රජවරු ධාතු ගෙන තම තමන් ගේ නුවරවල් වලට ගොස් ධාතු නිදන් කර මහා ස්ථූප අටක් තනා ධාතු වන්දනා කලහ.

( ද්‍රෝණ බමුණා විසින් සගවා ගන්නා ලද ධාතූන් පිලිබද ව 'ධාඨා ධාතු ' විස්තරයෙන් දැන ගත හැක ) 

ද්‍රෝණ බමුණා ධාතු බෙදා අවසානයේ තමා සගවා ගත් දළදා තුන් නම නැති වී ඇති බව දැක මහත් වූ දුකකට පත් ව කිසිවක් කර කියා ගැනීමට නොහැකිව අවසානයේ රජ දරුවන් ගේ අවසරය ඇතිව ධාතු බෙදූ රන් නැළිය ගෙන එය නිදන් කර ස්ථූපයක් තැනුවේය. එය 'තුම්බ ස්තූපය' නම් විය. ධාතු බෙදා අවසන් වූ පසු පැමිනි පිප්පලී නුවර මෞර්ය රජ දරුවෝ ධාතු කිසිවක් නොලැබ බුදු සිරුර දැවූ තැනින් අගුරු කොටසක් ගෙන තම නුවරට ගොස් එය නිධන් කර ස්තූපයක් කලහ. එය 'අංගාර ස්ථූපය' නම් විය. මෙසේ ලොව මුල් වරට බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් මහා ස්ථූප දහයක් දඹදිව තුළ ඉදි විය.

Friday, April 26, 2013

03 ධාතු ලබා ගැනීමට රජවරු යුද වැදීමට සැරසෙයි


ඒ සමයෙහි මගදාධිපති අජාසත්ත මහ රජු ' භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර දී පිරිනිවන් පෑ සේකැ ' යි අසා වචනයෙන් කිව නොහැකි තරමේ මහත් වූ දුකට පත්ව කිහිප විටක් ම සිහිය නැති ව ඇද වැටී අවසානයේ නැගී සිට ' භාග්‍යවතුන් වහන්සේ ක්ෂත්‍රීය වූ සේක. මම ත් ක්ෂත්‍රීයයෙක් වෙමි. මම ත් භග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් ගෙන් කොටසක් ලැබීමට සුදුසු වෙමි.  මම ත් ධාතු නිධන් කර සෑයක් තනා පුද සත්කාර කරන්නෙමි ' කියා කුසිනාරා නුවර මල්ල රජ දරුවන් වෙත දූතයෙක් යැවීය.
දූත්යෙකු යවා ' ධාතු නොලැබුන හොත් බලයෙන් හෝ ධාතු ගෙන එන්නෙමි ' යි සිතා මරසෙනගක් සේ සිවුරග සේනාව පිරිවරා ගෙන කුසිනාරා නුවරට ගොස් එහි කදවුරු බැදගෙන සිටියේය.
මෙසේ විශාලා මහ නුවර ලිච්චවී රජ දරුවෝ ද කිඹුල්වත් පුරයෙහි ශාක්‍යයෝ ද අල්ලකප්පරට බුලයෝ ද රාම ග්‍රාමයේ කෝලියෝ ද වේඨදීප නගරාධිපති බ්‍රාහ්මණයා ද පාවා නුවර වැසි මල්ල රජ දරුවෝ ද ධාතු ලබා ගැනීමට තම තමන් ගේ සුදුසුකම් කියා කුසිනාරා නුවර මල්ල රජ දරුවන් වෙත දූතයින් යැවූහ. දූතයින් යවා පසුව ධාතු නොලැබේ යැයි සැකයෙන් අජාසත්ත රජු මෙන් මහා සේනාව පිරිවරා ගෙන කුසිනාරා නුවරට ගොස් එහි කදවුරු බැද ගෙන සිටියහ.
මෙසේ කිසිවෙකුටත් ඉන් පිටතට යෑමට නොහැකි වන සේ කුසිනාරා නුවර වට කර ගෙන එහි කදවුරු බැද ගෙන සිටි රටවල් සතේ රජ දරුවෝ ' අපට ධාතු දිය යුතුය. එසේ නැති නම් අප හ යුද කල යුතු ය ' යි කියා කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ට දැනුම් දුන්හ.
එකල්හි කුසිනාරා නුවර මල්ල රජ දරුවෝ ' අපි අපේ නුවර දී පිරිනිවන් පානු මැනවැ' යි කියා බුදු රදුන්ට ඇරයුම් කලේ නැත. බුදුරදුන් තමන් වහන්සේ ගේ ම කැමත්තෙන් අපේ නුවරට වැඩම කර පිරිනිවන් පෑ සේක. තොපි තොපේ නුවරවල් වල උපන් රත්තරන් අපට දෙනවාද? දෙවි මිනිසුන් සහිත ලෝකයාට බුද්ධ රත්නය හා සමාන වූ වෙනත් රත්නයක් නැත. එසේ වූ උතුම් බුදු රුවන අපි නුඹලාට නොදෙන්නෙමු.
මව් කිරි බී හැදී වැඩුනේ තොපි පමනක් ද? අපිත් මව් කිරි බී හැදී වැඩුනෙමු. පිරිමි තොපි පමනක් ද? අපි ත් පිරිමි වෙමු. අවි ආයුද ඇත්තේ තොපිට පමනක් ද? අපට ත් අවී ආයුද ඇත. තොපේ කඩු පමනක් නොව අපේ කඩු ද මුවහත් ය.' යනාදී වශයෙන් මෙසේ අහන්කාර වූ මාන සහගත වූ කෝපය වඩන සුලු වූ කතා කියන්නට පටන් ගත්හ.
මේ බස් ඇසූ රජ දරුවූ ' වැඩි කථා අවශ්‍ය නැත. ධාතු නොදෙන්නේ නම් යුද්ධ කර හෝ ධාතු ලබා ගන්නෙමු' යි කියා යුධ වැදීමට සූදානම් වූහ.
ඉදින් මෙදින රජ දරුවන් අතර යුද්ධයක් ඇති වූවා නම් කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ටම ජය ලැබෙයි. ඒ කුමක් නිසා ද? ධාතු වන්දනා කිරීමට පැමිනි අප්‍රමාණ දෙවි දේවතාවන් ඔවුන් ගේ පැත්තේ සිටි බැවිනි.

Thursday, April 25, 2013

02 ආදාහන පූජාව



ශ්‍රී ස්ර්වඥ දේහය ආදානය කල තැන ඉදිකල ආදාහන ස්ථූපය 
එකල්හි මල්ල රජදරුවෝ ශ්‍රී ශරීරයට පුරා දින සතක් මුලුල්ලේ මහත් පූජා පවත්වා සත්වැනි දින බුදු සිරුර මකුටබන්ධන නම් වූ චෛත්‍යස්ථනයේ තැම්පත් කලහ තැන්පත් කොට අනද මහ තෙරුන් ගේ උපදෙස් පරිදි පලමුව බුදු සිරුර අලුත් වස්ත්‍රයකින් වෙලූහ අලුත් වස්ත්ර්‍යකින් වෙළා මැනවින් පෙළන ලද අලුත් කපු පුළුන් පටලයකින් වෙළූහ මනවින් පෙළෙන ලද කපු පුළුන් පටලයකින් වෙළා නැවතත් අලුත් වස්ත්‍රයකින් වෙළූහ
මෙසේ වස්ත්‍ර යුගල් පන්සියයකින්ද කපු පුළුන් පටල පන්සියයකින්ද බුදුසිරුර වෙළා රනින් කරණ ලද රන් දෙණක තන්පත් කර එවැනිම තවත් රන් දෙණකින් වසා නොයෙක් වර්ගයේ සුවද දර වලින් කරණ ලද චිතකයෙහි රන්දෙන තන්පත් කළහ


කොතරම් උත්සහ කලද චිතකයට ගිනි නොඇවිලයි !

පසුව මල්ල රජ දරුවෝ සතර දෙනෙක් හිස සෝද නා පිරිසිදු වී සුදු වස්ත්‍ර හැද පොරොවා ගෙණ චිතකයට ගිනි දැල්විමට සූදානම් වූහ කොපමණ උත්සාහ ගත්ත ද ඔවුන්ට ගිනි දැල්වීමට නොහැකිවිය
පසුව මල්ල රජ දරුවෝ අට දෙනෙක් දහසය දෙනෙක් තිස්දෙදෙනෙක් පිළිවෙළින්  බුදුරදුන්ගේ චිතකයට ගිනි දැල්වීමට පැමිණිය ද  දැල්වීමට නොහැකි විය මෙයින් මහත් පුදුමයට පැමිණි මල්ල රජ දරුවෝ දිවැස්ලාභී භික්ෂූන් අතරින් අගතැන්පත් අනුරුද්ධ මහ තෙරුන් වෙත එළැබ ස්වාමිනී චිතකය  නොඇවිලෙන්නේ කුමක් නිසාවෙන් දැ    ඇසූහ.
රජදරුවනි, දේවතාවන් ගේ අදහස වෙනත් එකකි. තෙරහු කීහ. ස්වාමිනි, දේවතාවන් ගේ අදහස කුමක්දැ යි මල්ල රජ දරුවෝ අසූහ. රජ දරුවනි මහා කශ්‍යප මහ තෙරුන් වහන්සේ පන්සියයක් භික්ෂූන්ද සමගින් පාවා නුවරින් නික්ම අවසන් වතාවට ත් බුදු සිරිපා වන්දනා කිරීමට කුසිනාරා නුවර බලා වැඩම කරමින් සිටිති. රජ දරුවනි මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ බුදු සිරිපා නොවදිනා තුරු භග්‍යවතුන් වහසේගේ මේ චිතකයට ගිනි නොඇවිලේවා යනු දෙවියන්ගේ අදහසයි යනුවෙන් අනුරුද්ධ තෙරහු කීහ මෙය ඇසූ මල්ල රජ දරුවෝ ස්වාමිනි දේවතවන්ගේ අදහස එය නම් එය එසේම වේවා යි කියා නිහඩ වූහ
පසුව මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ පන්සියයක් භික්ෂූන්ද සමගින් කුසිනාරා නුවර මල්ලරජ දරුවන්ගේ මකුට බන්ධන නම් වූ චෛත්‍යස්ථානය යම් තැනක ද භාග්‍යවතුන් වහන්සේගේ චිතකය යම් තැනක ද එතැනට එළැබියහ එළැබ මහා පාංශකූල සිවුර ඒකංස කොට පොරවා ගෙණ දොහොත් මුදුන් තබා වැද ගෙන තුන් වරක් චිතකය වටා යමින් මේ තැන භග්‍යවතුන් වහන්සේගේ හිස ය මේ තැන භග්‍යවතුන් වහසේගේ සිරිපා යුවල ය යයි සලකමින් බුදු සිරිපා පිහිටි ස්ථානයෙහි වැඩ සිටිමින් අභිඤ්ඤා පාදක චතුර්ථ ධ්‍යානයට සමවැදී ඉන් නැගී සිට
දහසක් අර ඇති චක්‍ර ලක්ෂණයන් ගෙන් ශෝභ්න වූ මාගේ ශාස්තෘන් වහන්සේ ගේ උතුම් සිරිපා යුවල තථාගත ශ්‍රී දේහය ඔතා ඇති කපු පුලුන් පටල පන්සියය ද වස්ත්‍ර යුගල් පන්සියයද රන්දෙණ ද සුවද සදුන් දර සෑය ද යන මේ සියල්ල දෙබෑ කර ගෙණ මාගේ හිස මත්තහි පිහිටන සේක් වා යි කියා අදිටන් කළ සේක


බුදුරදුන් ගේ ශ්‍රී දේහය පෙලහර දක්වයි 

එකල්හි ම ශ්‍රී දේහය ඔතා තිබූ ඒ කපු පුළුන් පටල පන්සියයද වස්ත්‍ර යුගල් පන්සියයද රන් දෙණද සුවද සදුන් දරයෑය යන මේ සියල්ල දෙබෑ කර ගෙණ වලාකුළු අතරින් නික්මෙන පුන්සද මෙන් බුදුරජාණන් වහන්සේගේ රන්වන් සිරිපා යුගල නික්මුණි
එකල්හි මහා කශ්‍යප මහ තෙරණුවෝ දොහොත් මුදුන් තබා වැද රත්පියුම් පෙත් දෙකක් බදු වූ තමන් වහන්සේගේ දෝතින් ත්ථාගතයන් වහන්සේ ගේ රන්වන් සිරිපා යුවල අල්ලා ගෙණ තමන් වහන්සේ ගේ හිස මුදුනෙහි තබා ගත් සේක මේ අසිරිය දුටු රැස්ව සිටි මහ පිරිස මහ හඩින් සාධුකාර දෙමින් සුවද මල් චිතකයට ඉසිමින් වන්දනා කලහ
ඉක්බිති මහා කශ්‍යප තෙරුන් වහන්සේ සමගින් වැඩි පන්සියයක් භික්ෂු සංඝයා ද බුදු සිරිපා වන්දනා කල කල්හි මහා කශ්‍යප තෙරුන් ගේ දෝතින් මිදී චිතකයෙහි සදුන් දර ආදී කිසිවක් නොසොල්වා පෙර තිබූ ස්ථානයෙහිම පිහිටි සේක ඒ ත් සමගින් ම දේවතානුභාවයෙන් චිතකය ගිනි ගත්තේය
දැවෙන්නා වූ බුදුරදුන් ගේ ශ්‍රී ශරීරයේ සිවිය ද සම් ද මස් ද නහර ද යන මේ සියල්ල කිසිවක් ඉතිරි නොවී දැවී ගියේය ඒවායේ අළු වත් දැලි වත් ඉතිරි නොවීය ශාරීරික ධාතූන් පමනක්ම ඉතිරිවිය බුදු සිරුර වෙළා තිබු ඒ පන්සියයක් වස්ත්‍ර අතරින් යම් වස්ත්‍රයක් සියල්ලට යටින් වූවාද යම් වස්ත්‍රයක් සියල්ලට පිටින් වූවා ද ඒ වස්ත්‍ර දෙකම නොදැවුනි ඉතිරි සියලු වස්ත්‍ර කපු පුළුන් පටලද සමගින් දැවී ගියේය බුදු සිරුර තැන්පත් කර තිබූ රන් දෙන ද එලෙසම ඉතිරි විය 
දීර්ඝායුෂ ඇති බුදුවරුන් ගේ ශරීර ආදාහනය කළ කල්හි ධතු නොවිසිරී රන් කදක් මෙන් එකඝන ව පවතී අප බුදුන් අල්ප වූ ආයු ඇති බැවින් පිරිනිවන් පෑමට පෙර මාගේ ශාසනය තවමත් සෑම තැනම පැතිරී නැත බොහෝ සත්වයින් මා පිරිනිවන් පෑ පසුව් මාගේ ශාරීරික ධතූන් ගෙන තම තමන් වාසය කරන්නාවූ ස්ථානයන් හි ස්තූප කරවා වන්දනා කර මරනින් මතු සුගතිගාමී වන්නේය යි සිතා ධාතූන් විසිරීමට අදිටන් කල සේක කුමන ධතු නොවිසිරුනා ද කුමන ධතු විසිරුනා ද ?
ලලාට ධාතුව ය අකු ධාතු දෙනමය සතර දළදාවන් ය යන මේ ධාතු සත කොටස් වලට නොකැඩී නොබිදී නොවිසිරී එලෙසින්ම ඉතිරිවිය අනෙක් සියලු අස්ති ධාතු කුඩා කුඩා කැබලි වලට බෙදී වෙන්වී ගියේය 


අහසේ මැවුනු ජල ධාරා චිතකය නිවා දමයි 

භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය දැවී ගිය කල්හි අහසින් ජල දහරා පහළ වී චිතකය නිවා දැමුවේය චිතකය වටා තිබූ සල් ගස් වල අතුවලින්ද ජල දහරා මතු වී චිතකය නිවා දමුවේය කුසිනාරා නුවර මල්ල රජ දරුවෝ ද සියලු වර්ගයේ සුවද කුඩු දැමූ පවිත්‍ර ජලය ඉස බුදුරදුන් ගේ චිතකය නිවා දැමූහ 
ඉක්බිති මල්ල රජ දරුවෝ ධාතු සහිත රන් දෙණ මැනවින් සරසන ලද ඇතෙකු ගේ පිට මත තබා මහත් වූ පෙරහැරකින් ඇතුළු නුවරට වැඩම කරවා මැනවින් සරසන ලද මණ්ඩපයක රන්දෙණ තැන්පත් කර දැඩි සේ ආරක්ෂාව සලස්වා නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් මෙන්ම මල් ගද සුවදින් ද පුරා දින සතක් මුළුල්ලේ මහත් වූ පුද පූජා පැවැත් වූහ 

01 සම්බුද්ධ පරිනිර්වණය




දෙව් මිනිසුන් සහිත ලෝකයා ගේ අසහාය ශාස්තෘවරයා වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ අවසන් සමය ලගා විය. අසූ වැනි වියට එළැඹි බුදුරදුන් බේළුව නම් වූ ගමෙහි වස් සමාදන් වූ සේක. එහි දී උන් වහන්සේට 'ලෝහිතපක්ඛන්දිකා' නම් වූ දරුණු රෝගය හට ගත්තේය. සමාපත්ති බලයෙන් තාවකාලිකව රෝගය යටපත් කර ගත් උන් වහන්සේ වස් පවාරණය කොට සැවත් නුවර දෙවුරම් විහාරයට වැඩම කල සේක. වැඩම කොට භික්ෂු සංඝයා රැස් කරවා තව නොබෝ දිනකින් තමන් වහන්සේ ගේ පරිනිර්වාණය සිදුවන බව දන්වා විශාලා මහ නුවරට වැඩම කර චාපාල නම් වූ චෛත්‍යස්ථානයේ දී ආයු සංස්කාර අතහැර භික්ෂු සංඝයාට දහම් දෙසා මෙයින් තුන් මසක් ගිය පසුව් තමන් වහන්සේ ගේ පරිනිර්වාණය සිදු වන බව දැනුම් දුන් සේක. 

පසුව බුදුරදුන් විශාලා මහ නුවරින් නික්ම පිලිවෙළින් භණ්ඩ ග්‍රාම, හස්ති ග්‍රාම, අම්බ ග්‍රාම, ජම්බු ග්‍රාම, භෝග ග්‍රාම යන ගම් වලට වඩම කර ජනයාට දහම් දෙසා පාවා නුවරට වැඩම කල සේක. එහිදී චුන්ද කර්මාර පුත්‍රයා ගේ දානය වැළදූ උන් වහන්සේ දැඩි සේ රෝගතුර වූහ. මාස කිහිපයක් යටපත් වී තිබූ ලෝහිතපක්ඛන්දිකා රෝගය යලි මතු විය. 
තමන් වහන්සේ ගේ පරිනිර්වාණය ඉතා ආසන්න වී ඇති බව දැන ගත් බුදුරදුන් භික්ෂු සංඝයා ද සමගින් කුසිනාරා නුවර මල්ල රජ දරුවන් ගේ උපවත්තන සල් වනය බලා වැඩම කලහ. සල්වනයට වැඩි බුදුරදුන් අනද තෙරුන් ලවා සල් ගස් දෙකක් අතර උතුරට හිස දමා ඇදක් පිළියෙල කරවා ගෙන යලිත් නොනැගිටින අදහසින් යුතුව සිංහ සෙයියාවෙන් සැතපුන සේක. නොයෙක් සක්වළින් අප්‍රමාණ දේවතාවෝ අවසන් වතාවට ත් බුදුරදුන් දැක බලා ගෙන වන්දනා කිරීමට දිවමල්, දිවගද ගෙන උපවත්තන සල්වනයට පැමිණියහ. දේවතාවෝ දිවමලින්, දිවගදින් බුදුරදුන් පිදූහ. 
භාග්‍යවතුන් වහන්සේ එදින රාත්‍රියේ පෙරයම මල්ල රජදරුවන් ප්‍රධාන රැස්ව සිටි මහ පිරිසට දහම් දෙසා රාත්‍රියේ මැදියම සුභද්‍ර නම් වූ පරිබ්‍රාජකයා දමනය කොට ''හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි. වො වයධම්මා සංඛාරා. අප්පමාදෙන සම්පාදෙථ.''  ''මහණෙනි, දැන් මම ඔබ සැම අමතමි. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. එබැවින් අප්‍රමාදීව කටයුතු කරන්නැ'' යි වදාළ සේක. මේ බුදුරදුන් ගේ අවසාන අවවාදය යි. 
ඉක්බිති භාග්‍යවත් බුදුරදුන් පිළිවළින් ධ්‍යානයන්ට සමවැදී ඉන් නැගී සිට අලුයම් කාලයේ දී සියලු සංස්කාර ධර්මයන්හි අනිත්‍ය භාවය ප්‍රකට කරමින් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක. බුදුරදුන් පිරිනිවන් පෑ කල්හි මහත් වූ භූමි කම්පාවක් ඇති විය. අහසේ හෙණ හඩ පැතිරී ගියේය. අකල් වැස්සක් ද වැස්සේය. 

15. සිරිපා සටහන්

භාග්‍යවතුන් වහන්සේ ගේ පාදයේ පිහිටි මහා පුරුෂ ලක්ෂණ  අ ප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ පා සටහනට "සිරිපා සටහන" ය...